spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හමුදා නිලධාරීන් සේවයේ යෙදී සිටියදී දේශපාලනය ගැන කතා කරන එක ගැන මම තරයේම විරුද්ධයි.

රට වෙනුවෙන් කරන කැපවීම හමුවේ හමුදා නිළධාරියා යනු අභීත මාතෘ භූමි ආරක්ශකයෙකි.යුද්ධය හමුවේ බැට කෑ ලංකාව සහමුලින්ම ත්‍රස්තවාදීනගෙන් මිදුනේ මේ අභීත වීරෝදාර ශ්‍රේෂ්ඨයන් නිසාවෙනි.ඒ වීරවන්තකම නිසාවෙන්ම හමුදා නිළධාරියෙක්ට පුරවැසියන්ගේ හදවත් තුළ ඇත්තේ අසීමිත ආදරයකි..අද අප විශේෂ සාකච්ඡවක් හමුවේ ගෞරවනීය ආරාධනයක් කොට විශේෂ කතා බහකට සම්බන්ධ කරගත්තේද මෙවන් උදාර විරු නායකයෙකි.ඔහු හිටපු යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී “මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා” ..ආයුබෝවන් ඔබතුමාට..!

ආයුබෝවන්!

අපි ඔබතුමාගේ පෞද්ගලික ජීවිතයෙන් ම පටන් ගමු. ඔබතුමාගේ පවුලේ විස්තර සහ කුමුදු පෙරේරා කියන චරිතය කියන්නේ මොනවගේ එකක්ද?

මගේ තාත්තා දැන් මිය ගිහින් ඔහු විශ්‍රාමික විනිශ්චයකාරවරයෙක්.මගේ අම්මා විශ්‍රාමික පාසල් ගුරුවරියක්.මට අයියා කෙනෙකුයි අක්කලා දෙන්නෙකුයි ඉන්නවා.අයියා ගණකාධිකාරිවරයෙක්.පොඩි අක්කා නීතිඥවරියක්.ලොකු අක්කා බැංකුවක හිටපු විධායක නිලධාරිනියක්.ඒ ඔක්කොමලා දැන් ඉන්නේ පිටරට.දැන් මගේ පවුලේ මමයි බිරිඳයි බිරිදයි පුතයි දුවයි.මම පොළවෙ පය ගහලා ජීවත් වෙන්න කැමති පුද්ගලයෙක්.මම හොරකමට වංචාවට කැමති නෑ.ඒක මට පියාගෙන් ආපු ආභාෂයක්.සාමාන්‍යයෙන් මම සමාජයත් එක්ක ගැවසෙන්න කැමති සමාජයේ නිතර ගැවසෙන, නිලය ඔළුවට ගත්තෙ නැති සරල ජීවිතයක් ගත කරන්න කැමැති මනුස්සයෙක්.

ඔබතුමා ඇයි යුධ හමුදාවට බැඳුනෙ? ඒ කොයි කාලෙද?

මම යුද හමුදාවට බැඳුණේ 1984.පොඩි කාලේ ඉඳන් මගේ ආසාවක් තිබ්බ පයිලට් කෙනෙක් වෙන්න.නමුත් අධ්‍යාපන සුදුසුකම් අනුව මට ඒකට යන්න බැරි වුණා.හමුදාවට බැඳෙන්න ආසාවෙන් පාසල් කාලෙදිත් මම පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමටත් බැඳුනා.පාසල් යන කාලේ අසූ තුනේ ජූලි කලබල ආවත් එක්කම මම ඒවා මගේ ඇස් දෙකට දැක්කා.ඒ කලබල ඇති වුණ ආකාරය සහ රජයේ ආයතන ඊට කටයුතු කරපු හැටි මම දැක්කා.මම ඒ වගේ අඩුපාඩුකම්,සිදුවුණු වැරදි පාසල් ශිෂ්‍යයෙක් විදියට දැක්කා.මට හිතුණා මම ඉක්මනට හමුදාවට බැඳුනොත් සමාජයේ වැරදි හරිගස්සලා හරි දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා.ඒ නිසා තමයි මම හමුදාවට බැඳුනේ.

ඔබේ හමුදා ජීවිතේ ඔබ මුල ඉඳන්ම ආපු තනතුරු පිලිවෙලට කිව්වොත්?

හමුදා නිලධාරියෙක් ගත්තොත් තනතුරු කොටස් දෙකකට බෙදෙනවා එකක් තමාගේ මව් ඒකකය තුළ සිදුකරන තනතුර සහ මව් ඒකකයෙන් *පිටත උසුලන තනතුර.මම නිහතමානීව ආඩම්බර වෙනවා මව් ඒකකයක් ඇතුලේ මම දරන්න පුලුවන් සෑම තනතුරක් ම මම හොබවලා තියෙනවා.මගේ මව් ඒකකය තමයි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව.ඛණ්ඩභාර නිලධාරියෙක් හැටියට මගේ වෘත්තීය සේවය පටන් අරගෙන මව් ඒකකය තුළ තියෙන බුද්ධි නිලධාරී,විධායක අධිකාරී, කණ්ඩායම් භාර නිලධාරී හැටියට රයිෆල් කණ්ඩායම් වල ආධාරක කණ්ඩායමේ සහ අණ සහ පාලන කණ්ඩායමේත් නිලධාරි අණදෙන ලෙස හිටියා. ඊට පසුව 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ආරම්භක දෙවන අණදෙන නිලධාරී වශයෙන් තනතුර හෙබෙව්වා. අවසාන වශෙයන් 1වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී වශයෙන් අවුරුදු 3ක් සේවය කර ඒකකයක් තුල දැරිය හැකි රාජකාරීන් නිම කලා.
ගොඩක් නිලධාරීන්ට ඒ අවස්ථාව සැලසෙනවා අඩුයි.නමුත් මට ඒ වාසනාව ලැබුනා.ඉන් පසුව හමුදාව තුළ තියෙන සියලුම මාණ්ඩලික ශ්‍රේණිවල තනතුරු දරන්න මට පුළුවන් වුණා.මාණ්ඩලික නිලධාරී දෙවන ශ්‍රේණියේ ඉඳලා පළවෙනි ශ්‍රේණිය දක්වාත්,පාබල සේනාංකයක කර්නල් ප්‍රධාන මාණ්ඩලික තනතුරත් දරලා ඊට පස්සේ බලසේනාධිපති කෙනෙක් විදියට බළසේණාවකට අණදෙනු ලැබුවා. අනතුරුව දියතලාව පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යා පීඨයේ සේණාවිධායක වශයෙන් කටයුතු කරන්න මට දුර්ලභ අවස්ථාවක් ලැබුණා.මම පාබල සේනාංක 5කට අණ දුන්නා.ඒකෙන් පස්සෙ රෙජිමෙින්තු දෙකක එනම් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේතුව යන දෙකේම රෙජිමේන්තු අධිපති හැටියට සේවය කළා. ඒ වකවානුවේදීම ආරක්ෂක සේනා මූලස්ථාන දෙකක, එනම්, මධ්‍යයම සහ වන්නි ආරක්ෂක සේනා අණසක ආඥාපති විදියට කටයුතු කළා. අවසන් වශයෙන් යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර හොබවලා විශ්‍රාම ගියා

රාජකාරියක් හැටියට ඔබතුමා සම්බන්ධ වුණු පළවෙනි ක්‍රියාන්විතය මොකක්ද?

මූලික පාඨමාලාව හදාරලා අපි විසිර ගියේ 1985 ඔක්තෝබර්.ඒකකයට එකතු වෙලා 1986 ජනවාරි මාසයේදී මට පළවෙනි ක්‍රියාන්විතයට සහභාගි වෙන්න අවස්ථාවක් හම්බ වුනා.මේ කාලේදී කරෙයි නගර් නාවික හමුදා කඳවුරට ත්‍රස්ත ප්‍රහාර තර්ජනයක් තිබිලා ඒක සමථයකට පත් කරන්න දුන්නෙ මම ඇතුළු මගේ කණ්ඩායමට.ඉතින් මං මගේ කණ්ඩායම එක්ක ඒ තර්ජනය සමථයකට පත් කළා.ඒක තමයි මගේ ජීවිතේ පලවෙනිම ක්‍රියාන්විතය

“suicide express” කියන නම ඔබට වැටුණේ ඇයි ?ඇත්තටම ඒ කතාව මොකක්ද?

නම එළියට ආවේ අපේ හිටිය ශ්‍රේෂ්ඨ හමුදා නිලධාරියෙක් වන ජෙනරල් විමලරත්නගෙන්.එතකොට මම රාජකාරි කළේ හතරවන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව කියන බලෑණියත් එක්ක.එවකට මම හිටියේ කණ්ඩායම් අණදෙන කෙනෙක් හැටියට.අපේ රෙජිමේන්තුවට හිමි වන සෑම ක්‍රියාදාමයකට මම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා.ඒකෙදි ජෙනරල් විමලරත්න ට මාව නිරීක්ෂණය වුණා.1992 ජෙනරල් කොබ්බෑකඩුව සංවිධානයෙන් කරලා තිබ්බ අවසන් ක්‍රියාන්විතයේ අසීරුම කොටසත් කරන්න අපිට පවරලා තිබුණා.ඒ කොටස සැලසුම් කිරීමේදී ජෙනරල් කොබ්බෑකඩුවත් ජෙනරල් විමලරත්නත් සාකච්ඡා කරන අතරතුර ඒකෙ අසීරුම කොටස පැහැදිලි කරලා ඇහුවා කවුද මේක කරන්න කැමති කියලා.
මම එතකොටම මං ඒක කරන්නම් කියලා බාර ගත්තා.ඒ අවස්ථාවේදී තමයි ජෙනරල් විමලරත්න කිව්වේ you are a bloody Suicide express කියලා.

ශවෙන්ද්‍ර සිල්වා සමග තිබුණු මිත්‍රත්වය ඔබේ පාසල් කාලේ ඉඳන්ම පැවතෙන්නක්.ඔහු ඔබේ පන්තියේ මිතුරා.මේ යාළුකම ගැන අර්ථකථනයක් ඉදිරිපත් කළොත් අද ඔහු ඉන්න තැන ගැන ඔබ මොකද හිතන්නේ?

ශවෙන්ද්‍ර පාසල් යන කාලේ ඔහු ඉතාමත් දක්ෂ කාර්යශූර පාසල් ශිෂ්‍යයෙක්.ඔහුට පුළුවන් හැම ක්‍රීඩාවක් ම ඔහු කලා.ශිෂ්‍ය භට කණ්ඩායමෙත් තූර්යවාදක කණ්ඩායමෙත් ඔහු හිටියා.ශවේන්ද්‍ර හරිම කීර්තිමත් ශිෂ්‍යයෙක් වගේම මාතලේ දිස්ත්‍රික්කයේ ශවේන්ද්‍ර ව හරි ප්‍රසිද්ධයි.අපි එකට හමුදාවට බැඳුණේ.ඔහු දක්ෂ හමුදා නිලධාරියෙක් හැටියට කටයුතු කළා.රටම දන්නවා අවසාන මානුෂීය මෙහෙයුමේ දී ඔහු කරපු වටිනා කාර්යභාරය.හමුදා නිලධාරියෙක් හැටියට විශ්‍රාම යෑමට ප්‍රථම යන්න පුළුවන් උසස්ම ස්ථානයට යන්න භාග්‍යයක් හම්බවෙච්ච නිලධාරියෙක් තමයි ශවේන්ද්‍ර කියන්නේ.අපි බැච් එකක් හැටියට ආඩම්බර වෙනවා ඔහු ඒ ලබා ගත්ත තැන ගැන.

ජෙනරාල් කොබ්බෑකඩුව ඔබ ළඟින්ම ආශ්‍රය කළ අයෙක් ඒ සම්බන්ධය ගැන කිව්වොත්?

නැසීගිය ඒ අභීත සෙන්පතියා ජෙනරල් කොබ්බෑකඩුව ළඟින්ම ආශ්‍රය කළා කිව්වොත් ඒක පොඩ්ඩක් වැරදියි.ළඟින්ම ආශ්‍රය කලාට වඩා ඒ කාලේ යුද යුද හමුදාවේ තිබ්බ බොහෝ ක්‍රියාන්විත සැලසුම් කරලා ක්‍රියාන්විත අණදෙන්නා විදියට හිටියේ එක්කෝ ජනරාල් කොබ්බෑකඩුව නැත්නම් ජෙනරල් විමලරත්න.ඒ ක්‍රියාන්විත වල ඉදිරියෙන්ම හිටිය බලඇණියක් තමයි 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව බළඇණිය.ඒ ක්‍රියාන්විත වල පලවෙනි ක්‍රියාව මම බාර අරගෙන හිටියේ නිසා මාව නමින් දන්න හැඳුනුම්කමක් තිබ්බා.ඒ ඇඳුනුම්කම වැඩි වුණා අවසාන ක්‍රියාන්විතයේ දී.ඒක තමයි මං ගැන ඔහුට තිබ්බ දැනීම.

එතුමාට සිදුවුණු අනතුර වෙනකොට ඔබ ඔහු සමඟ හිටියද?

අපි ඒ ක්‍රියාන්විතය සැලසුම් කරලා තිබ්බ දිනය 1992 අගෝස්තු.සැප්තැම්බර් තමයි මගේ විවාහ මංගල්‍යය වෙන්න තිබ්බේ.මගේ පාර්ශවය වෙනුවෙන් මම සාක්ෂියට අත්සන් කරන්න මම ජෙනරාල් කොබ්බෑකඩුවට ආරාධනා කරලා තිබ්බා.එතුමා කිව්වා මම කොහොම හරි එනවා කියලා.ඒ තියෙද්දි තමයි මේ ක්‍රියාන්විතය සැලසුම් කළේ අගෝස්තු මාසේ.ඒ ඔක්කොම සැළසුම් කරලා තියෙනකොට ඒක පැය 48 කින් කල් දාන්න කියලා කිව්වා.ඒ ඉහළින් ආව අණක් නිසා.ඊට පස්සේ ජෙනරල්ට මතක් වුණා මගේ විවාහ මංගල්‍යය තියෙනවා කියලා.එතුමා කිව්වා දවස් දෙකක් තියෙන නිසා කොළඹ ගිහින් විවාහ මංගල්‍යයේ වැඩ තියෙනවා නම් කරලා එන්න කියලා.මං කොළඹ ඇවිත් යනකොට ආයෙත් දවස් දෙකකින් ක්‍රියාන්විතය කල් ගිහින්.ආයෙත් ඔහු මට කිව්වා කොළඹ ගිහින් වැඩක් කරගන්න කියලා.මම ගිය අවස්ථාවේ තමයි ඒ අවාසනාවන්ත සිදුවීම වුණේ.ඒ සිදුවීම වුණේ වුණේ ඒ ක්‍රියාන්විතය සිද්ධ කරන්න තිබ්බ ස්ථානයේදීමයි.ඒ බිම් බෝම්බයක් හේතුවෙන්.ඒ ක්‍රියාන්විත සංවිධානයේදී එතනට ගිය සෑම අවස්ථාවකදීම මාවත් දාගෙන තමයි ඔවුන් එතැනට ගියේ.නමුත් මාව කොළඹ යවපු නිසා මම ඒ වාහනේ හිටියේ නෑ.

ඔබතුමා විශ්‍රාම ගියේ කොයි කාලෙද එවිට සේවයට කොපමණ කල් ද?

මම විශ්‍රාම ගියේ 2019 ඔක්තෝම්බර් 25.මම අවුරුදු 36 කට ආසන්න කාලයක් යුද හමුදාවේ සේවය කළා.

යුද හමුදාවේ ප්‍රබල නායකත්වයක් දැරූ පුද්ගලයෙක් විදියට ශ්‍රී ලංකා යුද හමුදාව ගැන ඔබට දෙන්න පුළුවන් හොඳම නිර්වචනය මොකක්ද?

ශ්‍රී ලංකා යුද හමුදාව කියන්නේ 2008 2009 කාලේ ලෝකයේ වෘත්තීය නිපුණත්වය අතින් ඉහළම විනයගරුක හමුදාවක් හැටියට විවිධ රටවල් වල හඳුන්වපු හමුදාවක්.මගේ නිර්වචනය නම් ඉතාමත් විනයගරුක රට දැය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයකින් රාජකාරි කරන්න පුළුවන් විනයානුකූල සෙබළුන් සෙබලුන් සහ නිළධාරීන් ඉන්න හමුදාවක්.

හමුදාවට තියෙන ගරුත්වය පසුගියදා සිදු වුණු දේශපාලන සිදුවීම් එක්ක නැති වුණා නේද..ඔබ ඒක දකින්නේ කොහොමද?

මම හමුදා නිලධාරියෙක් හැටියටත් හමුදා රාජකාරීන් ගැන දැනුමක් තියෙන කෙනෙක් හැටියටත් අනෙකුත් රටවල් වල හමුදාවන් රාජකාරි කරන අයුරු දන්න කෙනෙක් හැටියටත් මම දකින්නේ ඒ වෙච්ච සිදුවීම් කිසි දෙයකින් හමුදා ගරුත්වයට හානියක් වුණේ නෑ.මං හිතන්නේ ඕනම හමුදාවක රාජකාරීන් කරන්නේ ඒ හමුදාවේ ඉන්න යුද හමුදාපතිතුමාගේ ඉදලා අන්තිම කණිෂ්ඨ සෙබලා වෙනකන් එයාලට ඉහළින් ලැබෙන අණ අනුව.රාජකාරිය කරපු ආකාරයේ කිසියම් වැරැද්දක් තියෙනවා නම් හෝ නිවැරදි දේ අනුගමනය නොකෙරුවා නම් හෝ එහෙමත් නැත්නම් බලය අයුතු ලෙස පාවිච්චි කෙරුවා නම් ඒ වැරැද්ද හමුදාව අතට යන්න ඕන.ඒත් ඒ කිසිම තැනක මම දන්න විදියට එහෙම වැරදි වෙලා තිබ්බේ නෑ.නමුත් හමුදාව නොයෙදෙවිය යුතු නැත්නම් හමුදාවට අදාළ නොවන එහෙමත් නැත්නම් පොලිසිය විසින් සිදු කළ යුතු රාජකාරියකට හමුදාව යොදවලා එක් එක් අයගේ අරමුණු ඉෂ්ට නොවුනම ඒකට වගකියන්න ඕන සහ ඒකෙ අපකීර්තිය යන්න ඕන ඒකට අණ දී පුද්ගලයාට.මම හිතන්නේ නෑ යුද හමුදාවට අපකීර්තියක් වෙන අයුරින් කිසිම හමුදා සාමාජිකයෙක් රාජකාරියක් කළා කියලා.

බඳවා ගැනීම් අංක 19 තියෙන විශේෂත්වය මොකක්ද

1983 ජූලි කලබල වලින් පස්සේ හමුදාවට බඳව ගත්ත පලවෙනිම නිලධාරී බැච් එක බඳවා ගැනීම් අංක 19.ජූලි කලබල අස්සේ හමුදාවට බඳවා ගත්ත ලොකුම බැච් එක අපි.රටේ කලබල ඇති වෙනවා කියල දැන දැනම තමයි අපි හමුදාවට බැඳුණේ.අපි විශේෂ දෙයක් තමයි අපේ මූලික පුහුණුවීම් භාර නිලධාරීවරුන් තුන්දෙනා වගේම සෙසු උපදේශකවරුන් තුන්දෙනත් අනිත් බදවා බදවාගැනීම් එක්ක අපිව සංසන්දනය කරනකොට සෑම අතින්ම දක්ෂ වගේම උසස් බඳවාගැනීම් අංකයක් කියලා තමයි මේක හැඳින්වුනේ.ඇත්තටම අවසන් මානුෂීය මෙහෙයුමේ දී අණ දුන්න සේනාංකාධිපතිවරු තුන්දෙනාම හිටියේ අපේ බඳවා ගැනීමේ.ඒ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,ජෙනරාල් ගාල්ලගේ,ජෙනරල් සත්‍යප්‍රිය.ඒත් එක්කම ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ සේනා විධායකවරු තුනක් බිහිකරපු බඳවා ගැනීමත් 19 වන බඳවා ගැනීම.ඇත්තටම ඒක හමුදා ඉතිහාසයේ වාර්තාවක්.ඒ විතරක් නෙමෙයි එකම කාලයක යුද හමුදාවේ පළවෙනියා,දෙවෙනියා,වගේම තුන්වෙනියත් හිටියෙ අපේ බඳවා ගැනීමේ.යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා,මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සත්‍යප්‍රිය,නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මම..

ඔබතුමාගේ හමුදා ජීවිතය තුළ අමතක නොවන ම අත්දැකීම මොකක්ද?

බිහිසුණු අත්දැකීමුත් තියෙනවා සංවේදී අත්දැකීමුත් තියෙනවා.මගේම සෙබළු මගේ වටේ මැරිල වැටිච්ච අවස්ථා තිබ්බා.මම වුණත් නොමැරී බේරිච්ච අවස්ථා ගොඩක් තිබ්බා.බලවේගය, අකුණු අකුණු පහර,ජයශක්ති,ජයසිකුරු ක්‍රියාන්විත බොහෝමයක් ගේ ඒ වගේ අවස්ථා තිබ්බා.එකක් තමයි මාත් එක්කම පාසල් ගිහින් මාත් එක්කම ඉගෙනගෙන ලුතිනන් වසන්ත දහනායක මගේ යාළුවා යාපනය කොටුවේදී 1987දී මගේ අතේම මියගියා.ඒක සංවේදී අවස්ථාවක්.මම නගර් කෝවිල් වල සේනාධිපති ලෙස සේවය කරන කොට මගේ ඒකකයේ සෙබලෙක් මිය ගිහිල්ලා මම ඔහුගේ නිවස වෙත ගියා දෙමව්පියන්ට කතා කරන්න.මං ඒක පුරුද්දක් හැටියට කළා හමුදාවෙ සේවය කරලා මියගිය සෙබළුන්ගෙ ගෙවල් වලට ගිහින් මගේ ප්‍රණාමය ඒ පවුල්වලට පුද කරලා එන්න.ඒක අහංගම ප්‍රදේශයේ ඉතාමත් දුෂ්කර ගමක්.මම යනකොට ඒ ගෙදර වයසක අම්මා ගෙදර එළියෙ ඉදන් වයසක තාත්තත් එක්ක කතා කර කර ඉන්නවා.හරියටම ගේ ඉස්සරහ තිබ්බ සොහොන් කොත් තුනක්.ඒ තමයි ඒ අම්මගෙයි තාත්තගෙයි පුත්තු තුන්දෙනා.ඒ පුත්තු තුන්දෙනාම හමුදාවේ ඉඳලා ජීවිතය රට වෙනුවෙන් පිදුව අය.ඒ තුන්දෙනාම ගේ ඉස්සරහ වල දාලා.මම ඇහුවා මොනවද මේ කතා කරන්නේ කියලා.එතකොට අම්මා කිව්වා මටයි තාත්තටයි ප්‍රශ්නයක් ආවම අපි මේ තුන් දෙනා එක්කනෙ කතා කරන්නේ කියලා.මම ඒ සිදුවීම එක්ක හරිම සංවේදී වුණා.

ත්‍රස්ත ප්‍රහාරවලින් ඔබතුමා කීපාරක් දිවි දිවි බේරා ගත්තද?

කීප අවස්ථාවකම මගේ ආසන්නයේ හිටිය අයට වෙඩි වැදුනා.මම බේරුණා.1990දී මටත් වෙඩි වැදුනා යුද පිටියේදී.මාස 4ක් මම රෝහල් ගත වෙලා හිටියත් සනීප උන ගමන් නැවතත් ගියේ යුද පිටියට.නැවතත් රාජකාරි කරගෙන ඉන්නකොට ආයෙත් මං ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වෙලා තුවාල වුණා.

හමුදා නිලධාරියෙක් විදියට ඔබ කළ සේවය ගැන ඔබට හැඟෙන අයුරින් විස්තර කළොත්?

මම රාජකාරි කරන කොට මම බැලුවේ ඉතාමත් නිහතමානීව සරලව රාජකාරිය කරන්න.මම ඒ විදියට කළා.හොරකම් වලට වංචා වලට මං ඉඩ දුන්නේ නෑ.කරලා අහු වුනොත් මම උපරිම දඬුවම ලබා දුන්නා.ඒක මගේ ප්‍රතිපත්තියක්.මම කිසිම දවසක හමුදාවෙන් හොරකම් කරලත් නෑ සත පහක්වත් අරගෙනත් නෑ.මගේ දර්ශනය වුණේ වුනේ මට වැටුපත් දීලා තියෙන්නේ හමුදා රාජකාරි කරන ගමන් මගේ යටතේ ඉන්න සෙස්සන් පිළිබඳව සොයා බැලීම වගේ වගකීම් නිසා.ඉතින් මම හැමවෙලේම අසාධාරණයන් වෙනුවෙන් සෙස්සන් වෙනුවෙන් පෙනී සිටියා.සමහර වෙලාවල් වලදී ජේෂ්ඨ නිලධාරීන් එක්කත් මම හැප්පිලා තියෙනවා මගේ සෙබලුන් වෙනුවෙන්.මම දිනපු අවස්ථා වගේම මට පුද්ගලිකව අවාසි සිදුවුණු අවස්ථාත් තිබුණා.ගොඩක් දේවල් මට නැති කළා.ඒත් මම ඒවට කනස්සලු වෙනවට වඩා මම සතුටු වෙනවා මගේ සෙබළු වෙනුවෙන් මට පෙනී ඉන්න අවස්ථාවක් ලැබුණ නිසා.

ලංකාවේ දැන් පවතින ආර්ථික තත්ත්වය ගැන ඔබේ පැහැදිලි කිරීම මොනවගේද?

ලංකාවේ දැන් තියෙන මේ අර්බුද වලට අපි ඔක්කොම වගකියන්න ඕන.හැබැයි මේක දවසෙන් දෙකෙන් ඉවර වෙන දෙයක් නම් නෙමෙයි.අවුරුදු හැත්තෑ හතරක් පුරාවට ම නිසි පාලනයක් නැතුව රටක් ගෙනියපු එකේ විපාකය තමයි අපි මේ ගෙවන්නේ.මේ කෑම හිඟය එන්න ප්‍රධානතම හේතුව වුණේ හැත්තෑ හතෙන් පස්සේ ලංකාවට ආපු දේශපාලන සංස්කෘතිය නිසා.ඒ සංස්කෘතියෙන් පස්සේ තමයි මේ ඔක්කොම තිව්ර උනේ.විවෘත ආර්ථිකය නිසා දේශීය නිෂ්පාදන සම්පූර්ණයෙන්ම මරලා දාපු නිසයි මේ හැමදේම.මම නීති විශාරදයෙක් නෙවෙයි,ඒත් මට හැඟෙන පරිදි මගේ පුද්ගලික හැඟීම තමයි ඒක.

යුධ හමුදා නිළ ඇඳුමට දේශපාලනය සම්බන්ධ වීම ගැන ඔබතුමා මොකද හිතන්නේ?

මම යුද හමුදාව තුළ දී දේශපාලනය ගැන වචනයක්වත් කතා නොකරපු පුද්ගලයෙක්. හමුදා නිලධාරීන් සේවයේ යෙදී සිටියදී දේශපාලනය ගැන කතා කරන එක ගැනත් මම තරයේම විරුද්ධයි. දැනට සේවයේ සිටින හමුදා නිලධාරීන් හෝ සෙසු නිලයන් දේශපාලනය ගැන කතා කිරීම නොකළ යුතු දෙයක්. නිල ඇඳුමක් ඇඳන් ඉන්න අය මේක හොඳින් අහන්න,හමුදා නිල ඇඳුමක් ඇඳන් ඉන්න කාලයේදී දේශපාලන කටයුතු වල හෝ දේශපාලනය කතා කිරීම සිදු නොකළ යුතුයි. නිළ ඇඳුමක් ඇඳගත්ත අය අවනත වෙන්න ඕන,තමන් අරගෙන තියෙන දිවුරුම් ප්‍රකාශය අනුව රටේ පවතින ව්‍යවස්තාව, රටේ නීතිය සහ ජන රජය ආරක්ශා කිරීමට පමණයි. එසේ නොවීමට දේශපාලකයන්ගෙ දේශපාලන ව්‍යාපාර න්‍යායපත්‍ර අනුව නෙමෙයි හමුදා සාමාජිකයින් රාජකාරි කළ යුත්තේ. කියන්න කණගාටුයි,දැන් සමහර වෙලාවට හමුදාවෙ ඉඳලා විශ්‍රාම ගිය අය පවා කටයුතු කරන්නෙ නොයෙකුත් දේශපාලකයන්ගේ න්‍යායපත්‍ර අනුවයි. එවැනි අවස්තා වලින් හමුදාවට අපකීර්තියක් පවා සිදු විය හැකියි

ඒත් මගේ පෞද්ගලික අදහසක් තියෙනවා සෑම හමුදා සාමාජිකයෙකුටම විශ්‍රාම ගියාට පසුව දේශපාලනය ගැන නොව නමුත් දේශය පාලනය කරන සහ වෙන හැටි සොයා බලන්නත් ඒ ගැන කතා කරන්නත් නැතිනම් ඒ පිළිබඳව ක්‍රියා කරන්නත් අයිතිවාසිකමක් සහ වගකීමක් තියනවා කියලා. දේශය පාලනය ගැන කතා කිරීම සම්බන්ධයෙන් වෘත්තිකයන්ට අයිතිවාසිකමක් තියෙනවා නම් එකේ මුල්ම අයිතිවාසිකම තියෙන්නෙ නිල ඇඳුමක් ඇඳලා විශ්‍රාම ගිය අයෙක්ට යන්නයි මගේ පුද්ගලික අදහස. මම ඒක එහෙම කියන්න හේතුව රටේ ඉන්න සියලුම වෘත්තිකයන් ගත්තොත් හමුදාවක සාමාජිකයෙක් විතරයි රට ජාතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය උනත් පූජා කරන්න බලාගෙන සේවයට එක් වෙන්නෙ. මම ඉස්සෙල්ලා කිව්ව විදියටම සියළුම හමුදා සාමාජිකයින් දිවුරුම් දීල තියෙන්නෙ දිවිහිමියෙන් රටේ පවතින ව්‍යවස්ථාව නීතිය සහ ජනරජය ආරක්ෂා කරන්න. ඒක නිසාම විශ්‍රාම ගිය අපිට කැක්කුමක් තියෙනවා අයිතිවාසිකමක් තියෙනවා මේ රට දැය හරියටම පාලනය වෙනවාද නැද්ද යන්න ගැන හොයා බලන්න ඒ ගැන කතා කරන්න හෝ ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න

සංවාදය -සචිනි සත්සරණි
Dasatha Lanka News

3be322f6 3539 4afe b0f7 0d1716537018 1
32bfc28b da15 4642 8361 63078ff497e2
6c4f1f2b 1248 4f36 82d3 8a879c6deb00 1
53e379f5 b6e7 4f02 ab39 2bae25abe3c2 2
54a4b704 3c02 4ff6 8256 6ab7e6e97d62 1
ff842032 2809 420f 8f4a 7f19a15f6d4d 1
341a104d 31d9 43bd b5a3 d5c562fa594a 2
211b534b 1bbb 444e a824 f136ae6ddf64 1
c248b04f b155 4221 b024 2cc0e7c373c9 2
a919b47f 95da 4604 a285 2f2e2e4e94c8 2
cb938e52 c2b1 45a5 b638 2cf96d8b3c20 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?