spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවේ ණය ප්‍රතිව්‍යුගතකරණ වේදිකාවේ රඟන අන්තර්ජාතික නලුවෝ

සහන පැකේජය ලබා ගැනීම සඳහා මෙරටට අවශ්‍ය ප්‍රධාන විදේශ ණය හිමියන් අතුරින් ඉන්දියාව සිය මූල්‍ය සහතික කිරීම් ලබා දීමත් සමග අන්තර්ජාතික මූල්‍ය අරමුදලින්(IMF) අපේක්ෂිත තීරණාත්මක ඩොලර් බිලියන 2.9 ක ණය මුදල වෙත ශ්‍රී ලංකාව සමීප වී තිබේ. නිදහස ලැබීමෙන් අනතුරුව ගෙවුණු දශක ගණනාව ඇතුලත උද්ගතවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් මන්දගාමී වී තිබෙන රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට IMF ණය ඉතා වැදගත් වේ. දෙදින නිල සංචාරයක් වෙනුවෙන් මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් පසුගිය සිකුරාදා කොළඹදී IMF ණය සඳහා සිය රට පහසුකම් සපයන බව නිවේදනය කළේය. ඒ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අනෙකුත් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් හමුවීමෙන් අනතුරුවය.

“ඉන්දියාව තීරණය කළේ අන් අය ගැන බලා නොසිට, අපි හරි යැයි විශ්වාස කරන දේ කිරීමටයි. ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට මාර්ගය පැහැදිලි කිරීම සඳහා අපි IMF වෙත මූල්‍ය සහතික ලබා දුන්නෙමු. අපගේ අපේක්ෂාව වන්නේ මෙය ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කරනු ඇත යන්නයි. එපමණක් නොව සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ සමානව කටයුතු කිරීම සහතික කිරීමද අපගේ අපේක්ෂාවයි ” යැයි ආචාර්ය ජයිශංකර් එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වූ මෙරට ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගෙන් පළමුවැන්නා ඉන්දියාවයි. ඉන්දියාව හැරුණු විට එම ණයදෙන්නන් අතරට චීනය, ජපානය සහ යුරෝපය ප්‍රධාන රටවල් 22කින් සමන්විත ‘පැරිස් සමාජයේ’ සාමාජික රටවල් ඇතුලත් වේ. IMF විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බේරාගැනීම සඳහා ණය පැකේජයක් ලබාදීම වෙනුවෙන් කැමැත්ත පලකරන ලද්දේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීය. එහෙත් එම ණය පැකේජයට IMF විධායක මණ්ඩලයේ අවසන් අනුමැතිය ලබාගැනීමට නම් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති ඉහතකී ප්‍රධාන ණයහිමියන් ඇතුළු අත්‍යවශ්‍ය පාර්ශව විසින් සිය ණය වෙනුවෙන් යම් සහනයක්, එනම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමක් වෙනුවෙන් එකඟතාව පළකළ යුතුය. එසේම එහිදී සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එක් ක්‍රමවේදයකට අනුව සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමටද කැමැත්ත පළකළ යුතුය. කෙසේවෙතත් ඉන්දියාව මේ ආකාරයට පළමුවෙන් සිය ණය වෙනුවෙන් සහනයක් ලබාදීම සඳහා පළමු පියවර තබා ඇති නමුත්, ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයදෙන්නා වන චීනයෙන් මෙතෙක් එම සහතිකය සම්බන්ධයෙන් වචනයකුදු පිටව නැත. ඇතැම් නිල නොවන මාර්ග උපුටා දක්වමින්, ඉන්දියාව සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව චීනයද සිය කැමැත්ත පළකර ඇති බවට, විදෙස් ජනමාධ්‍ය ආයතන විසින් වාර්තා පළකර තිබුණද, ඒ බව චීනය විසින් කිසිදු ආකාරයකින් තහවුරු කර තිබුණේ නැත.

අත්‍යවශ්‍ය ආනයන සඳහා හෝ සිය විදේශ ණය හිමියන් සඳහා ගෙවීමට අත්‍යවශ්‍ය විදේශ විනිමය නොමැතිකම සමග පොරබදමින් සිටි ශ්‍රී ලංකාව පසුගිය වසරේ බංකොලොත් විය. එතැන් සිට, රට තුළ ආහාර හා ඉන්ධන මිල ගණන් වල අධික උද්ධමනය හමුවේ ශ්‍රී ලාංකික ජනතාව පසුවන්නේ දැඩි අසීරුතාවන්ට මුහුණ දෙමිනි. 2022 අප්‍රේල් මාසයේදී තවදුරටත් සිය විදේශ ණය ආපසු ගෙවිය නොහැකි බව නිවේදනය කිරීමෙන් අනතුරුව, ගෙවුණු වසර වෙනුවෙන් පමණක් ගෙවිය යුතුව ඇති විදේශ ණය තොගයේ වටිනාකම ඩොලර් බිලියන 07කට අධික වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය වේගවත් කිරීම සඳහා ආයෝජන ප්‍රවාහයන් වැඩි කිරීමට නවදිල්ලිය කැපවන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පසුගිය සිකුරාදා ප්‍රකාශ කරන්නේ මෙවැනි පසුබිමකය. ඇත්තෙන්ම ඉන්දියාව ආරම්භයේ සිටම IMF ණය වැඩසටහනට සිය සහයෝගය ප්‍රකාශ කර තිබුණේය. පසුගිය සිකුරාදා දක්වා ප්‍රකාශ කර නොතිබුණේ එහි නිල නිවේදනය පමණකි. ශ්‍රී ලංකාව IMF වෙතින් සහයෝගය ලබාගන්නා බව තීරණය කරනු ලබන්නේ පහුගිය වසරේ මාර්තු මාසයේදීය. එම තීරණයත් සමග, එවකට මුදල් ඇමති අලි සබ්‍රි අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ එක්සත් ජනපදයේ වොෂිංටන්හිදී IMF නියෝජිතයන්ව නිල වශයෙන් මුණගැසුණේය. අප්‍රේල් සාකච්ඡා වටයේ පැවැති විශේෂත්වය වූයේ, ඒ වනවිට වොෂිංටනයේ රැඳී සිටි ඉන්දියානු මුදල් ඇමතිනිය වන නිර්මලා සිතාරාමන්ද එම සාකච්ඡාවට එක්වීමය. සාකච්ඡාවට එක්වීමෙන් නොනැවතුණු මුදල් ඇමතිනිය, ශ්‍රී ලංකාවට ඉක්මනින්ම ණයක් අනුමත කර දෙන ලෙස න් IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවාගෙන් පෞද්ගලිකවම ඉල්ලීමක්ද කරනු ලැබුවාය. ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කවරාකාරයේ ප්‍රතිපත්තියක්ද යන්න රහසක් නොවීය.

අනෙක් අතට ශ්‍රී ලංකාව පසුගිය වසර ආරම්භයේදී, ආර්ථික කඩාවැටීමකට මුහුණදීම ආරම්භ වූ වහාම පළමුවෙන්ම උපකාරය සඳහා ඉදිරිපත් වූයේද ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාවයි. 2022 වසරේ ජනවාරියේ සිට ජූනි මාසය වන විට, මාස කිහිපයක් ඇතුලත ඉතිහාසයේ එක වසරක් ඇතුලත ලංකාවට ලැබුණු විශාලතම ණය සහන ප්‍රමාණය ඉන්දියාවෙන් ලැබෙන්නේ ඒ අනුවය. එය එක්සත් ජනපද ඩොලර් බිලියන 04කට ආසන්න දැවැන්ත සහනයක් විය. එම සහනය තුළ අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියනයක්, ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 700ක් සහ ඉන්දියානු සංචිත බැංකුවෙන් ලබාදී තිබුණු ඩොලර් මිලියන 500ක ණය මුදලේ කාලය තවදුරටත් දීර්ඝ කිරීම වැනි සහන රැසක් විය.

කෙසේවෙතත් ඉන්දියාව මෙම පළමු සහ වැදගත්ම පියවර තබන ලද නමුත්, ජපානය සහ පැරිස් සමාජය සිය කැමැත්ත නොනිල වශයෙන් ප්‍රකාශ කර ඇති නමුත්, ශ්‍රී ලංකාවට තවමත් IMF ණය සහන පැකේජය ක්‍රියාත්මක කරගැනීමට නොහැකි ප්‍රධානම සාධකය බවට පත්ව ඇත්තේ චීනයයි. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය එම පියවර ගනු වෙනුවට IMF ණය පිළිබඳව එක්සත් ජනපදය සමග මත ගැටුමක පමණක් නිරත් වෙමින් චීනය තවදුරටත් කාලය ගතකරන බව පසුගිය සතියේද දැකගත හැකිවිය. චීනයට මෙම මත ගැටුමට හේතුව සපයා තිබුණේ මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් විසින් කරන ලද ප්‍රකාශයකි. පසුගිය 12 වැනිදා අමෙරිකානු තානාපති ජූලි චන්ග් බීබීසී නිවුස් ලයිට් වැඩසටහනට එක් වෙමින් පෙන්වා දුන්නේ, චීනය තවදුරටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ කටයුතු ප්‍රමාද නොකළ යුතු බවයි. චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිත්‍රයකු නම්, චීනය විසින් පළමුවෙන් කළයුත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන වෙනුවෙන් සිය ණය වහාම ප්‍රතිව්‍යුහගතකරණය කරදිය යුතු බව තානාපතිනිය සිය සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කර තිබුණාය. ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ ප්‍රමාදය ශ්‍රී ලංකාවට අයහපත් කරුණක් බවත් ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන්වත් චීනය මෙම කාර්යය කළ යුතු බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබිණි.

චීනයට මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි ලෙස කේන්තිගොස් ඇති බව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් පළකරමින් මීට ප්‍රතිචාර දක්වා තිබුණේ, චීනයට චෝදනා කිරීමට පෙර තානාපතිනිය ඇමරිකානු ප්‍රතිපත්ති පිළිබඳ විමසා බැලිය යුතු බවයි.

“”අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විශාලතම කොටස්කරු හා නිශේධ බලය හිමිවන්නේ කාට ද? 2022 වසරේ පමණක් ඩොලර් ට්‍රිලියන තුනකට වඩා සල්ලි අච්චු ගැහුවේ කවු ද? ඉහළ පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් 40%ක් අයිති පෞද්ගලික ණය හිමියන් ඉන්නේ කොහේද? ශ්‍රී ලංකාව ණය නොගෙවන රටක් ලෙස දැනුවත් කිරීමෙන් පසුව වහාම ෆෙඩරල් අධිකරණය ඉදිරියේ නීතිමය පියවර ගත්තේ කවු ද?”

මේ චීනයේ හැසිරීමයි. ඒ අනුව අවශ්‍යව ඇත්තේ තවදුරටත් කල්මැරීම බව අවබෝධ කරගැනීම අපහසු නැත. මීට යම් ආකාරයකින් සමාන අර්බුදයක් අප්‍රිකානු රාජ්‍යයක් වන සැම්බියාවේද මතුවුණු අතර, චීනය එහිදීද අනුගමනය කරන ලද්දේ මෙම කල්මැරීමේ ප්‍රතිපත්තියමය. විශේෂත්වය වූයේ සැම්බියාවද දැවැන්ත ණය අර්බුදයකට මුහුණ දෙනු ලැබුවේ චීනය විසින් ලබාදී තිබුණු, පහසු, එහෙත් අධික පොළී ණය ආපසු ගෙවාගත නොහැකිව වීමය. අවසානයේ චීනය විසින් සැම්බියාවට ලබාදී තිබූ ණය තොගයෙන් සුළු ප්‍රමාණයක් කපාහැරීමට එකඟතාව පලකරන ලද්දේ, ඒ වෙනුවෙන් ඉල්ලීම ඉදිරිපත්වී වසර එකහමාරකට පමණ පසුවය. ඒ අනුව ශ්‍රී ලංකාවේ අර්බුදය හමුවේ ඉන්දියාව හෝ වෙනත් හිතෛෂී පාර්ශව කුමන සාධනීය පියවර ගනුලැබුවද, චීනය ඒ වෙනුවෙන් අවංකව කටයුතු නොකරන තාක්කල්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ IMF ණය වැඩසටහන් යතාර්ථයක් බවට පත්නොවනු ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?