spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මම ලංකාවේ සාමාන්‍ය තරුණ කොල්ලෙක්

ලංකාවෙ ටියුෂන් ක්ශේත්‍රයේ රැඳී ඉන්න බොහෝමයක් දෙනාව ඔබ හඳුනනවා ඇති.සමහර විට ඔවුන් ජනප්‍රියත්වයට පත්වීමට හේතු කීපයක් තිබෙන්නට පුළුවන්.උගන්වන රටාව අනුව ඔවුන්ව වර්ග කරනවාට වඩා ඔවුන්ගේ කතා විලාෂය,එහෙමත් නැත්නම් ආකර්ෂණය,ආකල්ප..මේ ආදී බොහෝ දේ සැලකිල්ලට ගත්තොත් මේ ක්ශේත්‍රය හරිම සුන්දර ක්ශේත්‍රයක් කිව්වොත් නිවැරදියි.අකිල සෙනවිරත්න කියන්නෙත් එහෙම කෙනෙක්.තාරුණ්‍ය එක්ක හරි ලස්සනට ආදරය පිළිබඳව ගනුදෙනු කරන අකිල ඒ ගැන හරි ලස්සනට දකින කෙනෙක්.මේ ආදරණීය ගුරුතුමා සමඟ අද අපි කතා බහක යෙදුණේ මේ ලෙසින්..

ආයුබෝවන් අකිල!

ආයුබෝවන්!

කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ?

මගේ රස්සාව තමයි උසස්පෙළ සිංහල පන්ති කරන එක.කොවිඩ් වලින් පස්සේ මම කරන්නේ ඔන්ලයින් පන්ති විතරයි කියලා මම තීරණයකට ඇවිල්ල ඉන්නවා.මොකද ඒක පහසුයි වගේම වැඩි ළමයි ගානකට උගන්වන්න පුළුවන්.ඊට අමතරව අලුත් වැඩ කිහිපයක් යනවා ඒ අතර ටෙලි නාට්‍ය පිටපතක් ලියාගෙන යනවා,සමිතා මුදුන්කොටුව සමඟ සින්දුවක් කරගෙන යනවා.

අකිල කිව්වම හැමෝම දන්නේ සිංහල ගුරුවරයෙක් විදියට.සරලව කියන්න අකිල කියන්නේ කවුද?

මම ලංකාවේ සාමාන්‍ය තරුණ කොල්ලෙක්

ඇයි ඔබ සිංහල විෂය ම උගන්වන්න තෝරගත්තේ?

ඇත්තටම මම පන්ති කරන්න ආවෙ ප්ලෑන් කරලා නෙමෙයි.මම විශ්වවිද්‍යාලෙ ඉන්නකොට කළේ මීඩියා වැඩ.ගොඩක් channels වලට ඩබ් කරන්න එහෙම මම ගියා.ඒත් ඒක මට ජීවත් ජීවත් වෙන්න මදි,මොකද මගේ පවුල එහෙම සල්ලි තියෙන ලොකු සල්ලිකාර පවුලක් නෙවෙයි.ඒ නිසා මම ජීවත්වෙන්න පන්ති කරන්න පටන් ගත්තා.මට වැඩිපුරම පුළුවන් වගේම මම ගොඩක්ම ආස සහ මගේ ඇඟේ තිබ්බ විෂය සිංහල නිසා මම සිංහල පන්ති කරන්න පටන් ගත්තා.

කොහොමද social media වලින් මේ වැඩේ පත්තු කරගත්තේ? කොහොමද මේ තරම් ඉක්මනින් කෙටි කාලයක් තුළදී සෝෂල් මීඩියා වල හැමෝම දන්න චරිතයක් වුණේ?

ඇත්තටම ඒක හැම ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමේ.covid කාලේ රට වැහුවට පස්සේ පන්ති වලට ළමයින්ට එන්න විදියක් තිබ්බෙ නෑ.ඒ අතර සමහර ගුරුවරු නම් ෆේස්බුක් වල එහෙම තමන්ට අසාධාරණකම් වෙනවා කිය කිය හිටියා.ඒත් මම කල්පනා කළා මේක තුළින් නිර්මාණශීලී දෙයක් කරන්න ඕන කියලා.ඉතින් මම සී.ඩී සෙට් එකකට ඔක්කොම lessons ටික ගහලා ලමයින්ගේ ගෙවල් වලට කුරිය කලා.මොකද ළමයින්ට ඒ වෙනකොට ඉගෙන ගන්න ක්‍රමයක් නැති නිසා.

ඒ සීඩී එකට අදාල videos කරන්න මගේ යාළුවෙක් ආවා එයා ලෂාන්.ඔහු දැන් දක්ෂ videographer කෙනෙක්.ඉතින් එයා මට කිව්වා අපි වීඩියෝ එක කරනකොට මචං මේකෙන් කෑල්ලක් කපලා අපි යූටියුබ් එකට දාලා බලමු කියලා.ඉතින් අපි youtube channel එකක් හරහා මේක දැම්මා.මුලින්ම පනස් දාහක් වගේ වීව්ස් ගියා.ඊට පස්සේ තවත් වීඩියෝ එකක් one million ගියා.ඒ වීඩියෝ ඉවරවෙනකොට මට ලක්ෂයකට වඩා subscribers ලා එකතු වුණා.විශේෂයෙන්ම මේක මතක් කරන්න ඕන මම පීදීගෙන එද්දිම මට ලංකාවෙ තියෙන සියලුම චැනල්ස් වලින් උදව් කරා.ඉහළම මැනේජ්මන්ට් එකේ ඉඳන් මට උදව් ලැබුණා.මම ඒක බොහොම ආදරයෙන් මතක් කරනවා,සහ මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

ඇයි අකිල හැමතැනම ආදරේ ගැන කතා කරන්නෙ?

අපේ syllabus එකේම කෙටිකතා තියනවා පහළොවක් විතර.ඒ පහළොවෙන් දහයක් විතර තියෙන්නෙ ආදරේ ගැන.කවි පන්ති 25 ක් විතර තියෙනවා ඒකෙන් විස්සක් විතර තියෙන්නෙ ආදරේ ගැන.පෙමතෝ ජායතී සෝකෝ කියලා නාට්‍යයක් තියෙනවා ඒකෙ නම ම තියෙන්නෙ ආදරේ ගැන.ඒකත් එක්ක තමයි මගේ අතින් එහෙම දේවල් වෙනවා ඇත්තේ.මානව බැඳීම් ගත්තම මනුස්සයෙකුට හරියන්නේ හෝ වරදින්නේ බැඳීම් නිසා,ඒ කියන්නේ ප්‍රේමය නිසා.සිංදුවක් ගත්තත් ෆිල්ම් එකක් ගත්තත් මේ හැම තැනකම තියෙන්නේ ප්‍රේමය.ඉතින් ඒක මිනිස්සුන්ගෙ හිතට කතා කරන්න හොඳ මාතෘකාවක් කියලා මට තේරුණා.

ඇත්තටම අකිල මේ ලෝකෙ ආදරේ කියලා දෙයක් තියෙනවද?

මම නම් විශ්වාස කරන්නේ බැඳීම් කියන දේ දුකක් කියලා.බැඳීම් ඉතුරු වෙන්නේ දුක හිතෙන තැනකින්.සමහරවිට මට මෙහෙම හිතෙන්නේ මගේ ජීවිතේ පුද්ගලික අත්දැකීම් එක්ක වෙන්න ඇති.හැබැයි බැඳීම් වලින් ගොඩ ගිය මිනිස්සුත් ඉන්නවා.ප්‍රේමය කියලා දෙයක් මේ ලෝකෙ තියෙනවද කියලා ඇහුවොත් අපි එක එක තැන්වල දී ඒකට අර්ථකථන දෙන එකත් එක්ක මං හිතන්නේ දෙන්නෙක් එකතු වෙලා ජීවිතයේ ඉස්සරහට යනකොට මිනිස්සු එකට නමක් දා ගන්නවා ප්‍රේමය කියලා.තවත් සමහර අය වෙන නම් වලින් හඳුන්වනවා.

අකිලගේ ආදරේ මොන වගේද?

ඇත්තටම මගේ ජීවිතේට තාම සර්ව සම්පූර්ණ ආදරයක් ලැබිලා නෑ.ඒ කියන්නේ නවකතා පොත්වල වගේ තියෙන ආදරයක් මට තාම හම්බෙලා නෑ.ඒක මගෙ නොලැබීම වෙන්න ඇති.හැබැයි මේ දවස් වල නම් එහෙම ආදරයක් හම්බ වෙමින් පවතිනවා කියලා මට හිතෙනවා.මොකද මේ දවස් වල ඒ ගැන ඉඟි ලැබෙනවා.

මේ වැඩත් එක්ක අකිලට කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.කොහේ හරි තැනකට ගියත් කඩේකට ගියත් මිනිස්සු මාව අඳුරගන්නවා අඳුරගෙන කතා කරනවා.ඒ ප්‍රතිචාර වලටත් වඩා මට මිනිස්සු කතා කරලා කියනවා ඔයාගේ මේ වීඩියෝ එක බලලා තමයි මැරෙන්න හිටියේ මම අද මේ විදියට ජීවත් වෙන්නේ කියලා.මම හිත හදා ගත්තෙ මේ නිසා කියලා.මම හිතුවේ මම කතා කරන්නේ සාමාන්‍ය මිනිසුන්ට කියලා,එහෙම නෙමේ මට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන් පවා කතා කරලා කියනවා ඔයා නිසා මම මගේ ප්‍රශ්න නැති කරගත්තා කියලා.ඉතින් ඒවායින් මට හිතෙන්නෙ අපි මේ සමාජය තමයි බෙදාගෙන තියෙන්නේ,උගත් නූගත් දුප්පත් පෝසත් හැම මනුස්සයෙකුටම තියෙන්නේ එකම විදිය ප්‍රශ්න කියලා මට තේරුණා.

ආදරේ කියන මාතෘකාවේදී අකිලට අකිලගෙ ජීවිතේදි දැනුන සංවේදීම සිදුවීම මොකක්ද?

ඇත්තටම මට උසස් පෙළ කාලෙදී ප්‍රේම සම්බන්ධයක් තිබුණා.ඒක මගේ පළවෙනිම ආදරය.ඒ ගෑනු ළමයා මාව දාලා ගියේ මට ඉගෙන ගන්න බැරි වෙයි මට රස්සාවක් හොයාගන්න බැරි බැරිවෙයි ගෙදරින් මට කැමති නැති වෙයි මං නිසා එයාගේ ජීවිතේ නන්නත්තාර වෙයි කියලා හේතු කියලා.ඒ සිදුවීමෙන් පස්සේ මම ජීවිතේ සෑහෙන්න කඩාගෙන වැටුනා.

කොහොමත් මම ඒ කාලේ ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි,මම වලි වලට එහෙම ගිහින් ඔළු පලාගෙන ගෙදර ආපු කෙනෙක්.ඉස්කෝලේ එහෙම තහනම් කරපු ළමයෙක්.ඒත් ගෑනු ළමයා කියපු දේත් එක්ක මගේ ජීවිතය කඩාගෙන වැටුනා.එදා මම බස් එකෙන් බැහැලා ගෙදර යනකොට මගේ තාත්තා ලොකු බඩු මල්ලක් අරගෙන පයින් මගේ ඉස්සරහින් ගෙදර යනවා..එයා දැක්කේ නෑ මං පිටිපස්සෙන් එනවා කියලා.ඒ කාලෙ අපි හිටියෙ කුලී ගෙදරක.එදා මම ගෙදර එනකොට තාත්තව දැකලා මට හිතුනා තාත්තලා දුක් විඳින මේ ජීවිතෙන් තාත්තලා ව ගොඩ ගන්නවා කියලා සහ අර කෙල්ලට පේන්න මම කොහොමහරි ජීවිතේ ගොඩ යනවා කියලා.

මම එදා හිතාගත්තා මම හොඳට ඉගෙන ගන්නවා කියලා.ඒ වෙනකොට මට ලොකු කාලයක් තිබුනෙත් නෑ.එදා ඒ අධිෂ්ඨානයත් එක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළම රෑන්ක් එකක් එක්ක මට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන් වුණා.ඒ ගෑනු ළමයා මාව දාලා ගිය නිසා තමයි මට අද මෙහෙම වෙන්න පුළුවන් උනේ කියලා මම හිතනවා.

මිනිහෙක්ට ජීවත් වෙන්න ආදරය ඕනෙද?

අනිවාර්යෙන්ම ඕන.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයක් නැතත් සතෙක්ට හරි ගහකොළකට හරි ආදරය කරන්න ඕන.මං විශ්වාස කරනවා මිනිහෙක්ට ජීවත් වෙන්න ආදරය ඕන වගේම මිනිහෙක්ට ජීවත් ජීවත් වෙන්න ප්‍රශ්නෙකුත් ඕන.

අකිල ටාගට් කරන ඕඩියන්ස් එක කවුද?

ජනප්‍රිය වෙන්න කලින් ඉඳලම මම මුල ඉඳලම හිතුවේ සාමාන්‍ය මිනිසුන්ට කතා කරනවා කියලා.මොකද අපේ රටේ කොන් කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ව.ත්‍රීවීල් කාරයෙක්,කුලී වැඩ කරන කෙනෙක්,ගාමන්ට් යන කෙල්ලෙක්,ඉතිං මට හිතුණේ ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරනවා කියලා.අදටත් මම ටාගට් කරන්නේ ඒ වගේ මිනිස්සුන්ව.ඒ කියන්නේ කාර් වෑන් වල යන මිනිස්සුන්ව නෙවෙයි.එදිනෙදා ජීවිතයේ දුක විදලා හවසට ටෙලිනාට්‍යයක් බලලා හිත හදාගත්ත,අපි හරි මෝඩයි කියලා හිතාගෙන ජීවත්වෙන මිනිස්සුන්ට කතා කරන්න මම ආසයි..

අකිලගේ ජීවිතය ඉදිරියට තියෙන ලොකුම හීනය මොකක්ද?

ඇත්තටම මට ලොකු ධනපති හීන නෑ.මම ආසයි මගේ ජීවිතයේ අග කාලෙදි සීත පළාතකට ගිහිල්ලා මිනිසුන්ගෙන් ඈත් වෙලා එළවළු වත්තක් හරි තේ වත්තකට හරි වෙලා වෙලා මගේ පාඩුවේ ඉන්න ගස්කොලන් එක්ක.ඒක හරිම පොඩියි ලේසියි වගේ පෙනුනට ඒක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.

සංවාදය-සචිනි සත්සරණි

1f8607da 4ce7 4f36 9072 5d443c02700b
5dcbe288 062d 4f22 936a ba5013511fff 1
0041d9b3 875d 4e39 9a98 055c2e98dd68
b2195af6 c209 49f4 91d2 67325063b81b
b0ef07fb ad27 4ec5 9c15 e0f1773fc3f9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?