spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මට ඕන කරන ජනප්‍රියත්වය මට ලැබිලා තියනවා. මම සංගීතය අතෑරලා දානවා

පරම්පරා ගණනාවක ආදරණීය රසික හදවත් ආදරෙන් දිනාගත්තු සුන්දර ගායන ශිල්පියෙක් තමයි කීර්ති පැස්කුවෙල්.ඔහුගේ කටහඩේ ඇති ලයාන්විත බව මේ රසික ආදරයට එක් හේතුවක්.ලංකාවෙ තරුණ පරම්පරාව අතරේ කිසිදු වෙනසක් නැතුව එදා ජනප්‍රියත්වයම ඔහු අදත් රැකගෙන සිටීම එතුමාගෙ දක්ෂකමක්..ඉතිං මේ ආදරය නිසාම අද අපි කීර්ති පැස්කුවෙල් මහතාව අපේ කතාබහට සම්බන්ධ කරගත්තෙ එතුමාගෙ කාර්‍ය බහුල ජීවිතයෙන් වෙලාවක් වෙන්කරවාගෙන.

කීර්ති පැස්කුවෙල් මහත්මයා..කොහොමද ඔබතුමාට?

සතුටින් ඉන්නවා.පහු ගිය ටිකේ ඕස්ට්‍රේලියානු සංචාරයක් අවසන් කරලා ආවෙ.සාර්ථක ප්‍රසංග 03ක් පැවැත්වුවා.තාමත් ඕස්ට්‍රේලියාවේ කොවිඩ් තත්වය පහව ගිහින් නෑ.ඒ අතරෙ ඒ රටේ මේ කාලෙ තියෙන්නෙ බොහොම ශීත දේශගුණයක්.තවත් දෙයක් තමයි මේ දවස් වල වයිරස් උණක් පැතිර යනවා.ඉතිං මේ සියල්ලකින්ම බේරිලා ප්‍රසංගත් සාර්ථක කරගෙන පරිස්සමින් නිරෝගීව ලංකාවට එන්න ලැබීම ගැන සතුටුවෙනවා..

ඔබතුමාගෙ පවුලෙ විස්තර ටිකක් කිව්වොත්?

මගේ ගම මහනුවර හන්තාන.මගෙ පවුලෙ අම්මා, තාත්තා,අක්කලා තුන් දෙනයි අයියයි.නමුත් දැන් අම්මයි තාත්තයි වගේම ලොකු අයියයි අක්කයි ජීවතුන් අතර නැහැ.

ඔබතුමා කුඩා කාලයේ ඉදන්ම සංගීත පසුබිමකද හැදී වැඩුණෙ?

ඇත්තටම අයියා නිසා තමයි සංගීත ක්ශේත්‍රයට යොමු වුණේ.අම්මයි තාත්තයි සංගීතයට ආසයි.ඉතිං අයියා ගිටාර් වාදනය කලා.අයියගෙ නම පද්මසිරි රූපරත්න.

පොඩි කාලෙ හිතුවද කවදහරි ගායකයෙක් වෙනවාමයි කියලා?

කිසිසේත්ම නැහැ.මට විශේෂ දෙයක් මතකයි,ඒ කාලෙ ඉදන් මම ගුවන් විදුළි ගීත අහනකොට මම ඇහුවෙ විශේෂ ගීත වර්ගයක්.ඒ ගීත වලට තමා මම ආසා කලේ.ඒවා මම දැන් ගායනා කරන ගීත වලට සමානයි.ඉස්සර මගේ යාලුවො මං ලව්වා එයාලා ආස සිංදු කියවගන්නවා.එයාලා නම් කියලා තියනවා ඔයා කවදාහරි ගායකයෙක් වෙන්න කියලා..

එතකොට ඔබතුමා මහන්සි උනේ මොන වගේ කෙනෙක් වෙන්නද?

අම්මට ඕන කරලා තිබ්බා මාව වෛද්‍යවරයෙක් කරන්න.හැබැයි මට ඒකට අධ්‍යාපනය මදි උනා.පස්සෙ මාව ඉංජිනේරුවෙක් කරන්න හැදුවා..ඒත් මඟදි ඒකත් අතෑරලා මම සංගීතයට යොමු වුණා.ඒත් අම්මලා හිතුවෙ සංගීතය කියන්නෙ ස්ථීර රැකියාවක් නෙමෙයි කියලා.පස්සෙ ඒ අය මාව යුධ හමුදාවට බඳවන්න හැදුවා.යුධ හමුදාවෙ පත්වීමෙ ලිපිය අතට ලැබුණම මම ස්ටැන්ලි පීරිස් මහත්මයාගෙන් ඇහුවා මම මේ රස්සාවට යන්නද කියලා,එතුමා කිව්වා නෑ ඔයාට සංගීත ක්ශේත්‍රයේ අනාගතයක් තියෙයි ඔයා මෙහෙම ඉන්න කියලා.ඉතිං ඊට පස්සෙ තමයි මේ ගමන ආවෙ.

ඉස්කෝලෙ යන කාලෙ හදපු බෑන්ඩ් එකේ විස්තරත් දැනගන්න කැමතියි..ඇත්තටම ඒ අත්දැකීම් කොහොමද ?

ඇත්තටම අපි ඥාති සහෝදරයො කීපදෙනෙක් එකතුවෙලා තමයි ඒ සංගීත කණ්ඩායම හැදුවෙ.මං තමයි බොංගො ඩ්‍රම්ස් ප්ලේ කලේ.ඉතිං කොට කලිසම් ඇඳන් තමයි අපි ගියේ හේතුව දිග කලිසම් ගන්න වත්කමක් තිබ්බෙ නෑ.ඒ කාලෙ මයික් එකට සංගීත භාණ්ඩෙ ලං කලාම ගස් වල බැඳලා තියන ලවුඩ් ස්පීකර් එකෙන් තමයි හඬ ඇහෙන්නෙ.ඒ කාලෙ ඉදන් මම සංගීතය රසවින්ද කෙනෙක්.ඉතිං ඒ කාලෙ ඒක ලොකු දෙයක්.

ඔබතුමා ගායනා කල මුල්ම ගීතය මොකක්ද?

මුලින්ම ගායනා කලේ හන්තානේ කඳුවැටි අතරේ ගීතය.ඒකට අවස්තාව දුන්නෙ සුනිල් ධර්මසේන සංගීතඥයා.එතුමා නිශ්පාදනය කරපු කැසට් පටයකට මගේ ගීතයකුත් ඇතුළත් කරන්න කිව්වා. මම මගේ අයියට කියලා ගීතයක් හදාගෙන ගායනා කරා.හැබැයි ඒක ජනප්‍රිය වුණේ නෑ

මුලින්ම ජනප්‍රිය වුණේ කුමන ගීතයද?

ජනප්‍රිය වුණේ නීල අහසේ ගීතය

ඔබතුමාගෙ ගීත වලින් ඔබතුමා වැඩියෙන්ම ආස කරන ගීතයක් තියනවද?

ගීත 04ක් තියනවා.එක තමයි නීල ආකාසේ ගීතය ඒක මගෙ පලවෙනි ජනප්‍රිය වුණු ගීතය.දෙක තමයි සඳලතා පායලා ගීතය,ඒකෙන් මට හොඳ ආර්ථිකමය ස්ථාවරත්වයක් හදාගන්න පුළුවන් වුනා.තුන තමයි කඳුළ ඉතිං සමාවෙයන් ගීතය..මම කාලයක් රට ගිහින් ඉදලා ඇවිත් ආයෙත් මට ජනතාව අතරට යන්න පුළුවන් උනා ඒ ගීතයෙන්.හතර තමයි තව දවසක් ගීතය..ඒකෙන් මම තරුණ පරම්පරාව අතරෙ ජනප්‍රිය වුණා.

තරුණ පරම්පරාව වෙනුවෙන් තවත් ගීත නිර්මාණ ඔබතුමා අතින් බිහි කරන්න ඔබ සූදානමින් ඉන්නවද?

ඇත්තටම මම සතියකට එක ගීතයක් නිර්මාණය කරනවා.ඕස්ට්‍රේලියාවේදිත් මම ඒ එක් ගීතයක් ගායනා කලා.නමුත් ගීත ජනප්‍රිය වීමේ ප්‍රවණතාවය වැඩියි.ගීත හැදුව පලියට ඒවා ජනප්‍රිය වෙන්නෙ නෑ.ප්‍රසංගවලට ගියත් මිනිස්සු ඉල්ලන්නෙ පරණ ගීත.වැඩසටහන් වලට ගියත් මිනිස්සු කියන්නෙ පරණ සිංදු කියන්න කියලා.

ඒකට හේතුව විදියට ඔබ දකින්නෙ මොකක්ද?

ඇත්තටම මේ ගීත ජනප්‍රියවෙන්නෙ මාධ්‍ය වලින්නෙ.මාධ්‍යවල ඉන්න අයගෙ රසඥතාවය අනුව තමයි ගීත ප්ලේ වෙන්නෙ.එක ගීතයක් එක චැනල් එකකින් දැම්මොත් අනිත් චැනල් එකත් ඒක හොයන් ගිහින් ප්ලේ කරනවා.මේක රැල්ලක් වගේ.නැත්තං යූ ටියුබ් වීව්ස් වලින් ගීත ජනප්‍රිය වෙන කලාවක් තියනවා.ඒවත් එක්තරා විදියක ගීත විතරයි.මං ඒවා පස්සෙ පන්නන්නෙ නෑ.මට ඕන කරන ජනප්‍රියත්වය මට ලැබිලා තියනවා.මට අවශ්‍ය වැඩ ටික මට එනවා.ඒත් මම ගීත නිර්මාණය නවත්තලා නෑ.ජනප්‍රිය වෙන්නෙ වාසනාවට.ඒක මට දැනිච්ච දේ.

චාරුලතා ටෙලිනාට්‍යයෙන් රංගනයට පිවිසෙන ඔබේ රංගන ජීවිතය ගැනත් අපි කියමු..

ඔව් ඒ 1986 දි විතර.මට කරපු අහක දාන්න බැරි ඉල්ලීම් නිසා තමයි මම රංගනයට පිවිසුනේ.චාරුලතා ටෙලිනාට්‍යයේ හිටියා රංජන් රාමනායක,සුසන්තා චන්ද්‍රමාලි.මමත් ප්‍රධාන චරිතය රඟපෑවා .ඊට පස්සෙ ගව්වෙන් ගව්ව ටෙලිනාට්‍යය,සාරා ටෙලිනාට්‍යයවල රඟපෑවා..සාරා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් උනේ නවසීලන්තයේ.

ඇයි රංගනයෙන් ඈත්වුනේ?

ප්‍රධානවම ගත්තොත් මම රංගන ශිල්පියෙක් නෙමෙයි.මම ඒ ක්ශේත්‍රය හදාරලා නෑ.මට දැනුමත් නෑ.ඉතිං ඒ දේවල් නැතුව මම ආස නෑ ඒ ගමන දිගටම යන්න.ඊළඟට මට තිබුණ කාලය ඒ වෙනුවෙන් කැප කරන්න බැරි වුණා මගේ සංගීත කටයුතුත් එක්ක.ඉතිං ඒ අවස්තාව මම හැකියාව තියන අනිත් අයට ලබා දුන්නා.

ඔබ ව්‍යාපාරිකයෙක් විදියට ගත්තොත් ඔබ එතනදි සාර්ථක ද?

මම දක්ශ ව්‍යාපාරිකයෙක් නෙමෙයි.මම සංගීත කටයුත්තක් සංවිධානය කළොත් මට විශ්වාසයි මම ඒක හොඳට කරනවා.ඒත් ව්‍යාපාරිකයෙක් හැටියට මට සාර්ථක නෑ.

ඔබතුමා සෑහෙන්න සමාජ කටයුතුවල නියැලී ඉන්නවා.ඒ ගැන අපි සඳහන් කල යුතුමයි කියලා හිතෙනවා.ඒ ගැනත් කියමුද යමක්?

මං පුංචි කාලෙ ඉදන්ම මගෙ අම්මගෙන් තාත්තගෙන් ලැබුණු පුරුදු නිසා සමාජ කටයුතු වලට හරිම කැමතියි.මම ගොඩක් වැඩිහිටි නිවාස වලට,ළමා නිවාස වලට උදව් කරනවා.චයිල්ඩ් කියන මගේ පදනම හරහා මම දරුවන්ට ගොඩක් උදව් කලා.ඒ වෙනුවෙන් මට අන්තර්ජාතික සම්මානයකුත් ලැබුණා.ඒක ඇගයීම් සම්මානයක්.මම තව ආයතනයක් සංවිධානය කරලා සුනාමියෙන් අවතැන් වෙච්ච ළමයින්ට ප්‍රසංග පවත්වලා උදව් කලා.මෑතකදි පිළිකා රෝහලේ ඇට මිදුළු බද්ධකිරීමේ ඒකකය වැඩි දියුණු කලා.කොතලාවල ආරක්ශක රෝහලට ලක්ශ 160ක් විත‍ර වටින යන්ත්‍රයක් දුන්නා උදර ආශ්‍රිත පිලිකා නිට්ටාවටම සුව කිරීම සඳහා.කොරෝනා කාලයේ රෝගීන්ට අත්වශ්‍ය භාණ්ඩ ලබා දුන්න.පිළිකා රෝගීන්ට දෙලුම් පාර්සල් යැවීමේ කටයුත්තකුත් සිද්ද කලා.තව විශේශම දෙයක් තමයි පසුගිය ජනවාරි 29වෙනිදා මගේ උපන්දිනය වෙනුවෙන් සංගීත භාණ්ඩ මිළඳී ගන්න දුශ්කරතා තියන දරුවන්ට මම නොමිලේ වයලින් 1000ක් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කලා.

දැන් බිහිවෙන රියැලිටි වැඩසටහන් ගැන මොකද හිතෙන්නෙ ඔබතුමාට?

මට ඒ ගැන හොඳ අත්දැකීමක් තියනවා.මොකද මම තමයි වසර ගණනාවක් එක දිගට එකම වැඩසටහනේ විනිශ්චයකරුවෙක් විදියට සහභාගී වෙලා තියන එකම කෙනා.ඇත්තටම මේ වැඩසහන් වල තරුණ තරුණියො පුදුම තරම් දක්ශයි.අපේ කාලෙ අපේ දක්ශතා එක්ක සසඳනකොට මේ අය ගොඩක් ඉහලින් ඉන්නවා.ඉතිං මේක ඒ අයට හොඳම හොඳ අවස්ථාවක්.ඒත් සමහර අය මේක අවතක්සේරුවට ලක් කරනවා.ඒ අය මේකෙ වටිනාකම දන්නෙ නෑ.නමුත් මම කියන්නෙ මේ වගේ වැඩසටහන් තිබිය යුතුයි.මොකද අතීතයෙත් මේ වගේ තරඟ තිබුණා.ඒවයින් බිහිවුණ දක්ශ ගායක ගායිකාවෙ දැන් ඉන්නවා.මං කියන්නෙ මේක තිබිය යුතු දෙයක්.

ප්‍රවීණයෙක් විදියට ඔබතුමාට රියැලිටි තරු වලට දෙන්න තියන උපදෙස මොකක්ද?

තමන්ගෙ හැකියාව ලෝකෙට පෙන්නුවට පස්සෙ කල් යව යව ඉන්නෙ නැතුව තමන්ගෙ ගීත කීපයක් නිර්මාණය කරගෙන ගමනක් යන්න.ගීත සමාජගත කරන්න.මොකද මේ තරුවලට ලැබෙන්නෙ මාර පබ්ලිසිටි එකක්.හැම කෙනෙක්ම ඒ ගැන කතා කරනවා.ඉතිං ඔබ කල යුත්තේ ජාතික තලයට එන්න උත්සාහා කරන එක.එතකොට පැවැත්මක් තියනවා.

ඔබතුමාගෙ ජීවිතයේ ඉදිරියට තියන ලොකුම බලාපොරොත්තුව මොකක්ද??

මට පුළුවන් තරම් කල් මං සිංදු කියනවා.මට නිවැරදි ශ්‍රැතියට සිංදු කියන්න පුළුවන් තාක් කල් මම සිංදු කියනවා.බැරි බැරි ගාතෙ සිංදු කියන්න මම ආසා නෑ.මට බැරි කාලෙ මම සංගීතය අතෑරලා දානවා.ඊට පස්සෙ මම කැමතියි මගේ සමාජ සේවය පුළුල් කරගන්න.ඒ දේවල් කරන්නෙ ප්‍රසිද්ධියට නෙමෙයි..මම හිතනවා මම මේ තැන අද ඉන්නෙ මේ සමාජය නිසා.මගෙන් සමාජයට යමක් විය යුතුයි කියලා මම හිතනවා..මට දැනෙනවා.මම ඒ කලගුණ සලකන්න ඕන.ඒ මනුස්සකම තියෙන්න ඕන.

සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News

WhatsApp Image 2022 06 08 at 7.49.20 PM
WhatsApp Image 2022 06 08 at 7.49.21 PM
WhatsApp Image 2022 06 08 at 7.49.22 PM 1
WhatsApp Image 2022 06 08 at 7.49.22 PM
WhatsApp Image 2022 06 08 at 7.49.23 PM 1
WhatsApp Image 2022 06 08 at 7.49.23 PM
WhatsApp Image 2022 06 08 at 7.49.24 PM 1
WhatsApp Image 2022 06 08 at 7.49.24 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?