spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නැහැ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විවෘත අධිකරණයේ සඳහන් කළා.

ඩයනා ගමගේ ඇමතිනිගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම් පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කළේ.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

මෙහිදී පැමිණිලිකාර ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බව සඳහන් කළා.

ඉන්පසුව ඇය වෙනත් උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරමින් රාජකාරී විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

“ස්වාමීනි…. මේක දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබෙනවා. එසේ නම් කළ යුත්තේ ඩයනා ගමගේ නමැත්තිය අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමයි. සාමාන්‍ය මිනිහෙක් මේ වරද්ද කලා නම් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරනවා. ඩයනා ගමගේ සම්බන්ධයෙන් එසේ නොකරන්නේ ඇය රාජ්‍ය අමාත්‍යවරියක් නිසා.”යනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න කියා සිටියා.

මෙහිදී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

තම සේවාදායිකාව 2014 වසරෙන් පසුව බ්‍රිතාන්‍ය පුරවැසිභාවයෙන් ඉවත් වූ බවත් ඔහු පෙන්වා දුන්නා.

තම සේවාදායක විසිවන සංශෝධනයට සහය පල කිරීමෙන් පසුව මෙම අසත්‍ය චෝදනා එල්ල කිරීමට කටයුතු කර ඇති බවත් එම නීතිඥවරයා සඳහන් කර සිටියා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රශ්න තුනක් යොමු කළා.

“විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පුද්ගලයෙක් එකිනෙකට වෙනස් උප්පැන්න සහතික ඉදිරිපත් කල බවට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් ඒක වරදක්ද? නැද්ද?…. ඒක ආගමන හා විගමන පනත යටතේ වරදක් ද? නැද්ද?… එහෙම වරදක් වෙනවා නම් පොලිසිය ඊලගට ගත යුතු පියවර කුමක්ද?” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්න යොමු කළා.

නමුත් මහේස්ත්‍රාත්වරයා යොමු කළ එම ප්‍රශ්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිහඬව සිටියා.

ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කල මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය මාර්තු මස 02 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?