spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ක්‍රීඩාවේ නැවුම් බලාපොරොත්තුව’දුනිත් වෙල්ලාලගේ ‘

ජනතාවගේ තියන ගැටළු බොහොමයක් එක්ක පීඩනයට පත් වෙලා ඉන්න වෙලාවක බොහෝ දෙනෙක් ඒවා පොඩි කාල සීමාවකට හරි අමතක කරලා ඉන්න හේතුවක් වුණේ මේ දවස්වල පැවැත්වෙන ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ක්‍රිකට් තරග මාලාවයි.

ඒ, අතරත් කාගේත් අවධානය දිනා ගත්තු පොඩි කොලු ගැටය ගැන තමයි මේ විස්තර ටික.

නමින් දුනිත් නෙත්මික වෙල්ලාලගේ වුණු මේ දක්ෂයා ඉපදිලා තියෙන්නේ 2003 ජනවාරි 09 වැනිදා කොළඹ දී, තාමත් අවුරුදු 19ක් වෙන මේ පුංචි දක්ෂයා වටේ මේ වෙන කොට අති විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉවරයි.

පුංචි කාලේදී තාත්තා සෙල්ලම් කරන දිහා, තාත්තා දිනපු කුසලාන දිහා ආසාවෙන් බලන් ඉදපු දුනිත්ටත් ඕනි උනාලු ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයෙක් වෙන්න.

එහෙම තමයි සම්මුඛ සාකච්ඡාවකදී දුනිත් කියල තිබ්බේ.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ 03 වසරෙ දී ආරම්භ කරපු ක්‍රිකට් ගමනේ අති සාර්ථක ගමනක් ආව මේ යෞවනයා තමන්ගේ අවුරුදු 19 සම්පූර්ණ වන විට ජාතික කණ්ඩායම වෙනුවෙන් තම නම නිර්දේශ කර ගන්නවා .

අවුරුදු 08 දී වේග පන්දු යවපු දුනිත් අද වෙන කොට වමත් දඟ පන්දු යවන්නෙක් විදියට ජාතික කණ්ඩායමේ තමන්ගේ දක්ෂතා පෙන්නනවා වගේම සුපිරි පන්දු රකින්නෙක් බවත් තමන්ගේ දක්ෂතා එක්ක තහවුරු කරලා ඉවරයි.

වේග පන්දු යවන්නෙක් වුණු ඔහු කුඩා කාලයේ උසින් අඩු නිසා දඟ පන්දු යැවීමට මඟ සැදුනු බව තමයි ඔහු පවසලා තිබුණේ.

13න් පහළ කණ්ඩායම වෙනුවෙන් තේරිලා අවුරුද්දකට ආසන්න කාලයක් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙක් වුණු දුනිත් ක්‍රිකට් වෙනුවෙන් තියන ආදරේ නිසාම බොහොම ඉවසීමෙන් කැප කිරීම් කරමින් ආව ගමනේ ඔහු 13න් පහළ හොඳම පන්දු යවන්නා ලෙස ද 15න් පහළ හොඳම පන්දු යවන්නා ලෙස වසර දෙකක් අඛණ්ඩව ද තේරී පත් වෙන්නේ ක්‍රීඩාවට ඇති ආදරය සහ උනන්දුව නිසාමයි.

ජාතික කණ්ඩායම වෙනුවෙන් තේරී පත් වෙද්දී මේ දක්ෂයා මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළේ තම කණ්ඩායමේ ජයග්‍රහණය තමන්ගේ ජයග්‍රහණය කර ගෙන කැපී පෙනෙන නායකත්ව ලක්ෂණ වලින්.

මංගල තරඟයට පිවිසීමට හිස් වැසුම වනිඳු හසරංග විසින් පළඳවා ගත් මේ දඟකාරයා තමන්ගේ පළමු ජාත්‍යන්තර තරඟයේදී පන්දු වාර 07 කට කඩුලු 02ක් දවා ගනිමින් තම හැකියාව එයින් මනාවට විදහා දැක්වූවා.

තම මංගල ජාත්‍යන්තර කඩුල්ල ලෙස ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ස්ටීවන් ස්මිත්ව දවා ගත් දුනිත්ට තරඟය අවසානයේ ග්ලේන් මැක්ස්වෙල් ගෙන් උණුසුම් සුභ පැතුම් ලැබෙන අවස්ථාවක් ද කා අතරත් කතා බහට ලක් වුණු කරුණක්.

තම දෙවන එක දින තරඟයේදී පන්දු වාර 05කට‍ කඩුලු 02ක් සහ පන්දු 35 කදී ලකුණු 20 ක් රැස් කරමින් ඔහුගේ උපරිමය කණ්ඩායම වෙනුවෙන් දායක කිරීමට ඔහු උත්සහ ගත් අයුරු ද කැපී පෙනුණා.

නිහතමානී අහිංසකයෙකු ලෙස කවුරුත් හඳුන්වන මේ අති දක්ෂ යෞවනයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ නව මානයක් කරා පියවර තබනු ඇතැයි කාගේත් විශ්වාසයයි.

තමන්ගේ උත්සාහය කැපවීම හරහා ලොවක් දිනන්නට වෙර දරණ මේ පුංචි දක්ෂයාට අපිත් හදවතින්ම සුභ පැතුම් එක කරනවා ක්‍රීඩාවේ වගේම තමන්ගේ ජිවිතේ දකින හැම ලස්සන හීනයක්ම වෙනුවෙන්.

3UUnnuSd
dinu
FJUWvRGUYAAP5Hg
gettyimages 1367717395 612x612 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?