spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉල්ලුවේ මල්ලක් -දුන්නේ අල්ලක්- චීනයෙන් හිමිවූ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඇත්ත

ශ්‍රී ලංකාව හේතුවෙන් නැවත වතාවක් එක්සත් ජනපදය සහ චීනය ඇවිලී ඇත. ඊට හේතුව පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලද දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ්ගේ ප්‍රකාශයකි. ඇය සිය සංචාරය අතරතුර කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය සහනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ණය අර්බුදයට මුහුණ දීම සඳහා විශ්වසනීය සහ නිශ්චිත චීන සහතික කිරීමක් අවශ්‍ය බවත්, චීනය මේ මොහොතේ කරන්නේ කුමක්දැයි යන්න පිළිබඳව එක්සත් ජනපදය ඇතුලු සමස්ත ලෝකයම බලාසිටින බවත්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම මෙරටට ලබාගැනීම සඳහා චීනය ලබාදී ඇති ණය සහතිකය ප්‍රමාණවත් නොවන බව එහිදී ඇය සඳහන් කළාය.

“පැහැදිලිවම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශවික ණයහිමියා ලෙස චීනය එම ණය සහතිකය ලබාදී මෙම වැඩසටහනට එක්වෙනු ඇති බවට අප බලාපොරොත්තු වෙනවා. අපි දකිනවා අනෙකුත් ණය හිමියන් ඉතා කඩිනමින් එම ණය සහතිකය ලබා දෙමින් සිටින බව. දැන් හැම දෙනාම බලා සිටින්නේ චීනය එම ණය සහතිකය ලබාදෙන තුරුයි. චීනය දැනට ලබාදී තිබෙන සහතිකය ප්‍රමාණවත් නැහැ” යැයි උප රාජ්‍ය ලේකම්වරිය එහිදී පැවසුවා ය.

නුලන්ඩ්ගේ එම ප්‍රකාශයට හැරෙන තැපෑලෙන් පිළිතුරු ලබාදීමට චීනයද කටයුතු කළේය. පසුගිය පෙබරවාරි 03 වැනිදා චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු විසින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකා මාඕ නින්ග් ගෙන් විමසා සිටියේ වික්ටෝරියා නුලන්ඩ්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනයේ ප්‍රකාශය හෝ ප්‍රතිචාරය කුමක්ද යන්නත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය සහන සඳහා අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවට විශ්වාසනීය සහ නිශ්චිත සහතික ලබාදීමට චීනය සලකා බලන්නේ කවදාද යන්නත්ය. එහිදී මාධ්‍ය ප්‍රකාශිකාව පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කරන ලද ප්‍රකාශය තුළින් සත්‍ය පිළිඹිඹු නොවන බවයි.

“එක්සත් ජනපදයේ පාර්ශවයෙන් පැවසූ දේ සත්‍යය පිළිබිඹු නොකරයි. චීනයේ අපනයන-ආනයන බැංකුව දැනටමත් ශ්‍රී ලංකාවට සිය ණය තිරසාරභාවය සඳහා සහාය ප්‍රකාශ කිරීමේ ලිපියක් ලබා දී ඇත. ශ්‍රී ලංකාව ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ඒ පිළිබඳව චීනයට ස්තුතිය පළ කර තිබේ. ශ්‍රී ලංකාව සමඟ චීනයේ සමීප සහයෝගීතාවයට ඇඟිලි ගැසීමට වඩා, ඇමෙරිකා එක්සත් ජනපදයට ද යම් අවංකභාවයක් පෙන්විය හැකි අතර වර්තමාන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීමට යමක් කළ හැකිය” යැයි මාධ්‍ය ප්‍රකාශිකාව එහිදී සඳහන් කළාය.

මීට සති දෙකකට පෙරද මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ IMF වැඩසටහනට සහාය ලබාදීම සම්බන්ධයෙන් එකසත් ජනපදය සහ චීනය ඇවිලී ගියේය. එහිදී දෙපාර්ශ්වයට වාග් ප්‍රහාර එල්ල කරගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් සහ මෙරට වැඩබලන චීන තානාපති කාර්යාලයයි.

මෙලෙස එක්සත් ජනපදය සහ චීනය අතර එකිනෙකාට වාග් ප්‍රහාර එල්ලකර ගැනීම සිදුවන්නේ, චීනය විසින් මෙරට IMF වැඩසටහන සම්බන්ධයෙන් දක්වන දියාරු ප්‍රතිපත්තිය හේතුවෙන් මිස අන් කිසිවක් නිසා නොවේ. ශ්‍රී ලංකාව විසින් සිය බරපතල ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා IMF වෙතින් සහාය ඉල්ලා සිටිනු ලැබුවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේය. වොෂින්ටනයේ පැවැති ආරම්භක සාකච්ඡාවලින් අනතුරුව සැප්තැම්බර් මාසයේදී IMF සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹුණේ, මෙරටට ඩොලර් මිලියන 2.9ක ණය පහසුකමක් ලබාගැනීම සඳහාය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් සිදුකල යුතු ප්‍රධානම රාජකාරිය වන්නේ, මෙතෙක් රට විසින් ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ලබගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමයි. එනම්, මෙරට ද්විපාර්ශ්වික ණයහිමියන් වන චීනය,ජපානය, ඉන්දියාව සහ බටහිර රටවල් ප්‍රමුඛ රාජ්‍යයන් 22ක නියෝජනයක් සහිත ‘පැරිස් සමාජයෙන්’, ඔවුන් ලබාදී ඇති ණය වෙනුවෙන් සහනයක් ලබාගැනීමයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව විසින් සිදුකරන ලද ගණනය කිරීමට අනුව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ලබාගත් ඩොලර් බිලියන 14ක ණය ප්‍රමාණයක් මේ ආකාරයට ප්‍රතිව්‍යුහගතකරණය කරගත යුතුව ඇත. එහිදී අදාළ ණයවලින් කොටසක් හෝ එහි පොළිය හෝ පොලියෙන් කොටසක් හෝ කපාහැරීම අපේක්ෂා කෙරෙන අතර, ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කරගැනීමද අපේක්ෂා කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සිය සියලුම ණය හිමියන් සමග සාකච්ඡා ආරම්භ කළේය. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, මෙරටට IMF ණය ලබාගැනීමේ මාර්ගය විවෘත කරමින් පසුගිය ජනවාරි අවසන් සතියේදී ඉන්දියාව සිය ණය වෙනුවෙන් සහනයක් ලබාදෙන බවට IMF වෙත මුල්‍ය සහතිකයක් ලබාදුන්නේය. එම මුල්‍ය සහතිකය පිළිබඳව නිවේදනය කිරීම වෙනුවෙන් ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්.ජයිශංකර් මෙරටට පැමිණීමද විශේෂත්වයක් විය. ඉන්දියාව එහිදී ප්‍රකාශ කරනු ලැබුවේ සියලුම ණය හිමියන් එකඟවන පොදු සහනයකට ඉන්දියාවද සිය එකඟතාව පළකරමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සහාය වන බවයි. ඉන්දියාව එලෙස සිය යුතුකම ඉටුකිරීමත් සමග ශ්‍රී ලංකාව වසරකට පසුව හුස්මක් ගත් බවක් දැකගත හැකිවිය. ඉන්දියාවේ එම සහතිකයත් සමග එක්සත් ජනපදය ඇතුලත් ‘පැරිස් සමාජයද’ සිය මුල්‍ය සහතිකය පිළිබඳව IMF වෙත දැනුම්දීමක් කර ඇතැයි මීට දින දෙකකට පෙර රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ඊට සමගාමිව ජපානයද සිය සහාය ඒ ආකාරයෙන්ම පළකිරීමට කැමැත්ත දක්වා ඇත.

මෙහිදී තවත් විශේෂ කාරණයක් සඳහන් කළයුතුව ඇත. ශ්‍රී ලංකාව පළමු අදියරේදී සිය ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරවා ගැනීමෙන් අනතුරුව, IMF විසින් සිය ණය මුදලේ කොටසක් නිදහස් කරනු ලබයි. එහි අනෙක් කොටස් මුදාහරිමේදී ශ්‍රී ලංකාව විසින් ඉටුකළ යුතු තවත් කොන්දේසි කිහිපයක් වේ. ඒ අතරින් ප්‍රධාන කොන්දේසියක් වන්නේ සිය බැඳුම්කරහිමියන් වෙතින්ද ඒ ආකාරයේම ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීමේ සහතිකයක් ලබාගැනීමයි. පෙරකී විශේෂ කාරණය වන්නේ, IMF වැඩසටහනේ පළමු අදියර නිමාවන්නටත් පෙර, සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල නිරත වීමට ඇති කැමැත්ත ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කරහිමියන් විසින් දැනුම්දීමයි. මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ අදාළ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය බැඳුම්කරහිමියන් විසින් IMF වෙත නිල වශයෙන් යොමුකර ඇතැයි පෙබරවාරි 04 වැනිදා ජනමාධ්‍ය හමුවේ තහවුරු කරනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ IMF ණය මුදල වෙනුවෙන් පවතින බොහෝ අවශ්‍යතා මේ වන විට ඉටුකෙරී ඇත. එහෙත් IMF විසින් සිය විධායක මණ්ඩල අනුමැතිය මෙතෙක් ලබාදීම පිළිබඳව මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නැත. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනය විසින් සිය ණය සම්බන්ධයෙන් විධිමත් සහතිකයක් මෙතෙක් ලබාදී නොමැති වීමයි. පෙරකී ශ්‍රී ලංකාවේ ණය ගණනය කිරීමට අනුව කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය කරවාගත යුතු ඩොලර් බිලියන 14ක ණය ප්‍රමාණයෙන් සියයට 52ක්, එනම් ඩොලර් බිලියන 07කට වැඩි ප්‍රමාණයක් අයත්ව ඇත්තේ චිනයටය. ඒ අනුව IMF වැඩසටහන වෙනුවෙන් චීන සහතිකය අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් චීනය මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ, චීන එක්සිම් බැංකුවෙන් (ආනයන අපනයන බැංකුවෙන්) ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය පමණක් ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැති බව පමණකි. ඒද වසර දෙකක කාලයක් වෙනුවෙන් පමණකි. අනෙකුත් රටවල් එකඟවී ඇති සහ IMF විසින් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව වෙනුවෙන් වන සැබෑ ණය සහනය එය නොවේ. මෙරට තත්වය සැබෑ ලෙස අවබෝධ කරගෙන ඇති පැරිස් සමාජය, දැනටමත් යෝජනා කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ණය ආපසු නොගෙවා සිටීමට වසර 10ක සහන කාලයකුත්, ප්‍රතිව්‍යුහගතකරණය කරන ලද ණය ආපසු ගෙවීමට තවත් වසර 15ක සහන කාලයකුත් ලබාදියයුතු බවයි. එසේ තිබියදී චීනය විසින් සිය බිලියන 07ක ණය තොගයෙන් බිලියන 02ක කොටසකට පමණක් වසර දෙකක සහනයක් ලබාදෙන බවට සහතික වීම ඇත්තෙන්ම විහිළුවකි.

පවතින තත්වය අනුව ශ්‍රී ලංකාවට, අපේක්ෂා කරන ආකාරයට මෙම වසරේ පළමු කාර්තුව අවසන් වනවිට හෝ IMF ණය සහනය ලබාගැනීමේ හැකියාවක් ඇති බවක් පෙනෙන්නට නැත. කෙසේහෝ වේවා අවසානයේ ඉන් තවදුරටත් පීඩාවට පත්වන්නේ, දැනටමත් සිය දෛනික තුන් වේලෙන් දෙවේලක් හෝ එක වේලක් ආහාර ලබාගන්නා බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව මිස අන් කිසිවෙක් නොවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?