සංචාරක හෝටලයක් තුළ දී මත්පැන් පානය කර එහි සේවකයින්ට පහර දී මුදල් සහ දේපළ කොල්ලකා පලා ගිය කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා.
ඊයේ (16) සවස කන්දකුලිය – තුඩාව ප්‍රදේශයේ හෝටලයක දී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පුද්ගලයින් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (16) දහවල් කන්දකුලිය – තුඩාව ප්‍රදේශයේ පවත්වා ගෙන යන සංචාරක හෝටලයකට බස් රථයකින් පැමිණ තිබෙනවා.
අනතුරුව ඔවුන් නවාතැන් ගැනීම සදහා කාමර 05ක් වෙන් කර ඇති අතර, ඒ සඳහා වන මුදල් ණය කාඩ්පතක් මඟින් ගෙවීම්කර ඇති බව සඳහන්.
පැමිණි කණ්ඩායමට පිරිමි පුද්ගලයින් 06 ක්, කාන්තාවන් 06 දෙනෙකු සහ කුඩා දරුවන් 04 දෙනෙකු සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
අනතුරුව පැමිණි පිරිස තමන්ට මත්පැන් පානය කිරීමට අවශ්‍ය බව පවසා ඒ සදහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස හෝටලයේ සේවකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.
එහිදී සේවකයින් විසින් සූදානම් කර තිබූ ස්ථානයේ මත්පැන් පානය කර ඇති පිරිමි පිරිස තමන්ට පහසුකම් මදි බව පවසමින් ගැටුමක් ඇති කරගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
එම පිරිස හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට ද පහර දී එහි තිබූ රුපියල් 85,300ක මුදලක්, රුපියල් 15,000ක් වටිනා තුවා 06ක් සහ රූපවාහිණී යන්ත්‍රයක දුරස්ථ පාලකය ද රැගෙන ඔවුන් පැමිණි බස් රථයේ ම නැගී පිටත්ව ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
මෙම පිරිස කුමන ප්‍රදේශයක පදිංචිකරුවන් ද යන්න නොදන්නා බව පවසා ඇති හෝටලේ සේවකයින් ඔවුන් පැමිණි බව කියන බස් රථයේ ලියාපදිංචි අංකය පොලීසියට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
එම ලියාපදිංචි අංකය අනුව පැමිණි පිරිස හදුනා ගැනීමට කටයුතු කරන බවයි කල්පිටිය පොලීසිය සඳහන් කළේ.






