නාවුල, ලග්ගල ප්‍රදේශයේ නිවසක පැවති ශාන්තිකර්මකදී තැඹිලි පානය කිරීමෙන් මියගිය බව කියන කාන්තාවගේ දේහය ඇය පදිංචිව සිටි මඩාටුගම, කිතුල්හිටියාව ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (19) පස්වරුවේ රැගෙන ආවා.
ලග්ගල, දාස්ගිරිය ප්‍රදේශයේ නිවසක ඉකුත් 16 වනදා එම ශාතිකර්මය පවත්වා තිබූ අතර, එහිදී ශාන්තිකර්මය සිදුකළ 25 හැවිරිදි කට්ටඩියා විසින් අදාළ කාන්තාවට තැඹිලි ගෙඩි 21ක් සහ කහ දියර පානය කිරීමට ලබාදී තිබුණා.
එහිදී අසාධ්‍ය තත්ත්වයට පත් කාන්තාව රෝහල් ගත කිරීමෙන් පසු දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි වාර්තා වුණේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගියේ 48 හැවිරිදි වියේ පසු වූ තිදරු මවක්.
මෙම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (19) අධිකරණ වෛද්‍ය විශේෂඥ එම්. අමීර් ලාෆික් විසින් සිදුකර තිබුණා.
මිය ගිය කාන්තාවගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරමින් ඇයගේ මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඊයේ (19) පස්වරු 6.00ට පමණ එම දේහය ඇය පදිංචිව සිටි මඩාටුගම කිතුල්හිටියාව ප්‍රදේශයේ නිවස වෙත රැගෙන ඒමට පවුලේ ඥාතීන් කටයුතු කර තිබුණා.
දේහය නිවසට රැගෙන එන අවස්ථාවේ මඩාටුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මිය ගිය කාන්තාවගේ සිරුර සම්බන්ධයෙන් වන අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතව තිබෙනවා.
අදාළ ශාන්තිකර්මය මෙහෙයවූ බව කියන කට්ටඩියා ගල්කිරියාගම, දානියගම ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, ඔහුගේ සහායට ගල්කිරියාගම, දඹේවටන ප්‍රදේශයේ පදිංචි පෙම්වතිය ද පැමිණ තිබූ බවයි වාර්තා වුණේ.











