වන්ධ්‍යකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් නැවත සේවයට කැඳවීමට මෙතෙක් තීරණය කර නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව පවසනවා.
එහි ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි කියා සිටියේ ඒ අනුව ඔහු තවමත් අනිවාර්ය නිවාඩු යැවූ අයෙකු බවයි.
සෞඛ්‍ය ලේකම්වරයාගේ යෝජනාව අනුව 2019 වසරේ මැයි මස 11 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇත්තේ ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ විස්ස – දෙක වගන්තියේ විධිවිධාන අනුවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන මණ්ඩලයක් පත් කර වාර්තාවක් හැකි ඉක්මණින් එවන ලෙස දැනුම් දුන්නද අදාළ වාර්තාව මෙතෙක් තමන්ට ලැබී නොමැති බවයි රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ඊයේ (16) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත, ලිපියක් යොමු කරමින්, සඳහන් කර තිබුණේ, වෛද්‍ය ෂාෆී ශහබ්දීන් හට හිඟ වැටුප් ගෙවා නැවත සේවයේ පිහිටුවන ලෙසටයි.