වී කිලෝවට රුපියල් 130 ක සහතික මිලක් ලබා දෙන ලෙස බල කරමින් සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනය තඹුත්තේගම නගරයේදී අද (28) විරෝධතාවක නිරත වූවා
තඹුත්තේගම නගරයට අද (28) පස්වරුවේ එක් වූ ගොවි ගෙවිලියන් තඹුත්තේගම නගරයේ විරෝධතාවක නිරත වෙමින් සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයෙහි නිරත වූහ.
මෙම විරෝධය සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනය විසින් සංවිධානය කර තිබූ අතර, තඹුත්තේගම බස් නැවතුම්පොළ අභියසදී පැවති මෙම උද්ඝෝෂණයට එම සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න, උපසභාපති සුසන්ත කුමාර නවරත්න යන මහත්වරුන්ද සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ සුසන්ත කුමාර නවරත්න මහතා කියා සිටියේ,
සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනය මේ ගොවීන්ගේ නගරයක් වන තඹුත්තේගමට ඇවිත් කියන්නේ වී කිලෝවට අවම සහතික මිල රුපියල් 130 ක් කරන්න කියන ඉල්ලීම. වී කිලෝවක් නිෂ්පාදනය කරන්න ආණ්ඩුවම කියනවා රුපියල් 90.50 ක් යනවා කියලා.අපි අහනවා මහින්ද අමරවීරගෙන් වී කිලෝවක් රුපියල් 75 ට විකුණලා ඇද්ද ගොවි ජනතාවට කියලා.මේ ආණ්ඩුවට අපි කියන්නේ දවසින් දවස පොහොර කප්පාදු කරලා ගොවියා මහ පාරට ඇදලා දැම්මා, තෙල් මිළ , ඉන්ධන මිළ වැඩි වුණා, බදු ගැහුවා, රනිල් වික්‍රමසිංහ ආව ගමන් කිව්වා වී වලට රුපියල් 120 ක මිළක් දෙනවා කියලා, යාපනයට ගිහින් 100 ක් දෙනවා කිව්වා, අද 120 ත් නෑ, 100 ත් නෑ, 80 ත් නෑ, අද 70 ට වී මිළ පහළ බැහැලා තියෙනවා.මෙහෙම ගොවියට ගොවිතැන් කරන්න බෑ.අද දරුවන්ට උගන්වන්න, බෙහෙත් හේත් ගන්න, තුන් වේල කාලා ඉන්න විදිහක් නෑ, දවසින් දවස ගොවි ජනතාව පීඩාවට පත් වෙමින් ණය උගුලේ පැටලිලා ඉන්නවා.ගොවියා දැන් යල් කන්න පටන් අරන් ඉන්නවා, යල් කන්නේ අස්වැන්න ලැබෙන්න පෙර අපි පාරට බැස්සේ මහින්ද අමරවීර, රනිල් වික්‍රමසිංහ ඔහෙලට අපි කියන්නේ නිෂ්පාදන වියදම අඩු කරලා වී මිළ අඩු කරගන්න, එහෙම කරන්න සූදානම් නැත්නම් අපි ගොවියාගේ වී තුට්ටු දෙකට දෙන්න සූදානම් නෑ, වහාම වී මිළ රුපියල් 130 ක් කරපල්ලා.නැත්නම් අපි වී ටික දෙන්නේ නෑ .අපි ගොවියාට කියන්නේ මේ සාධාරණ මිළක් නැත්නම් වී දෙන්න එපා.වී නිෂ්පාදන වියදම රුපියල් 99 යි නම් ඒකට 1/3 ක් එකතු කරලා අවම රුපියල් 130 ක් දීපල්ලා කියලා අපි ඉල්ලන්නේ.
එහිදී අදහස් දැක්වූ ජාතික ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න,
මේකෙන් අද පීඩනයට පත් වෙලා ඉන්නේ ගම්වල ගොවි ජනතාව, රුපියල් 130 ට අඩුවෙන් වී ටික දෙන් නැති තැනට ගොවියා අපි රැගෙන යනවා, අද ගොවියා ඇතුළු මේ රටම නන්නත්තාර කරලා තියෙනවා. රට අසරණ කරපු මේ ආණ්ඩුව පලවන සටන අපි ආරම්භ කරනවා යැයිද පැවසීය.
















