රුපියල් පනස් පන් ලක්ෂ විසිදහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කාන්තාවක් අද (30) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම සැකකාර කාන්තාව විදේශ රටවලට ගොස් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත වී සිටි තැනැත්තියක් බවයි අනාවරණය වී ඇත්තේ.
මැය අද (30) අලුයම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර, ඇයගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා.
දුම්වැටි 36,800ක් අඩංගු දුම්වැටි කාටූන් 184ක් මෙලෙස තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු කාන්තාව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, එළඹෙන 02 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
















