මුතු රාජා හස්තියා රැගත් රුසියානු ඉලුෂියන් – 76 ගුවන් යානය අද උදෑසන 07.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර “ෂියන්මායි” ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම හස්තියා රැගෙන යාම සදහා රුසියාවේ ඉලුෂියන් – 76 වර්ගයේ එන්ජින් 04 කින් බල ගැන්වෙන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පෙරේදා දින රාත්‍රී 11.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙම ගුවන් ගමන සදහා පැය 05 ක පමණ කාලයක් ගත වන බව සඳහන්.
තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් ” මුතු රාජා ” නොහොත් ” සක්සුරින් ” හස්තියා යළි ආපසු තායිලන්තය වෙත රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවේ අද අලුයම 3ට පමණයි.
අද අලුයම 12ට පමණ එම හස්තියා මෙතෙක් රඳවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ විශේෂ රථය ඉතා සෙමින් හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණා.
අප වාර්තාකරු සඳහන් කළේ අලුයම 04.30 පමණ වනවිට ඇතා ඇතුළත් විශේෂ කූඩුව තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු “ඉලුෂියන් – 76” ගුවන් යානයට පැටවීම ආරම්භ කළ බවයි.
අනතුරුව හස්තියා රැගත් AZS – 5701 ගුවන් යානය අද උදෑසන 07.30 කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර ” ෂියන්මායි” ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියා.
මුතු රාජා හස්තියා රැක බලා ගැනීම සඳහා භාරදී තිබුණේ අලුත්ගම කන්දෙ විහාරය වෙතටයි.



