කතරගම පෙරහැරේ විශේෂ රාජකාරි සඳහා අනුයුක්තව සිටි බෙන්තොට පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු පසුගිය 2 දා සවස නවාතැන් ගෙන සිටි විහාරස්ථානයේදී ගෙල වැලළාගෙන මිය ගොස් ඇතැයි කතරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කරගහ උල්පත, මැදවල, උඩුපිල ලිපිනයේ පදිංචි ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම කොස්තාපල් වරයා මීට සතියකට පමණ පෙර බෙන්තොට පොලිසියේ සිට විශේෂ රාජකාරි සඳහා කතරගම පොලිසියට අනුයුක්ත කොට කතරගම ගම් උදා පාරේ ශ්‍රී බෝධි රාජ විහාරස්ථානයේ නවාතැන් ගෙන සිටි බව කතරගම පොලිසිය කියයි. මොහු පසුගිය ජූලි මස 2 දින සවස විහාරස්ථානය අසල වෙළඳසැලකින් ලනුවක්ද මිලට ගෙන ඇති අතර පසුව සිව්රක් යොදාගෙන ගෙල වැලළාගෙන ඇති බවත් පෙම් පලහිලව්වක් මීට හේතුව වී ඇති බවට සැක කෙරෙන බවත් පොලිසිය පවසයි.
විහාරස්ථානයේ ඉදිකෙරෙමින් පවතින නව ගොඩනැගිල්ලේ පළමු තට්ටුවේ තිබූ ආවරණය නොවූ කම්බියක සිව්ර ගැට ගසා ගෙල වැලළාගෙන ඇති අතර එය වෙනත් අයෙකුට පෙනෙන පරිදි තම ජංගම දුරකථනයෙන් වීඩියෝ වන අන්දමින් සකස් කොට තිබූ බව පොලිසිය පවසයි.
පසුව විහාරස්ථානයේ සාමණේර හිමිනමක් මොහු එල්ලී සිටිනු දැක අනෙකුත් ස්වාමීන් වහන්සේ ලාට දැනුම් දී ඇති අතර කතරගම නගරයේ විශේෂ රථවාහන රාජකාරි වල නිරතව සිටි මෙම නිලධාරියා පොලිස් සේවයට එක්වී වසර එකහමාරක් පමණ වන බවත් පළමු පත්වීම ලැබී ඇත්තේ බෙන්තොට පොලිසියට බව ත් පොලිස් නිලධාරියෙකු පැවසීය.
මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය 3 වන දින (ඊයේ) හම්බන්තොට මූලික රෝහලේ සිදුකිරීමට කටයුතු යොදා තිබූ අතර කතරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.













