පාස්කු නඩුවේ සැකකරුවෙකු ලෙසට නම් කිරීම අත්හිටුවන්නැයි හිටපු ජනපති මෛත්‍රී ගොනු කළ පෙත්සමට ලැබුණු නියෝගය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සැකකරු වශයෙන් නම් කරමින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අත්හිටුවන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඒ මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බව පැමිණිලිකාර පාර්ශ්වය අද අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනු කර තිබෙන අදාළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී අදාළ පෞද්ගලික පැමිණිල්ලේ පැමිණිලිකරුවන් වශයෙන් නම් කර සිටින සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම ප්‍රතිඥාව ලබා දුන්නා.

මෙම නඩුකරය පාදක වන නීතිමය ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස මීට පෙර පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණා.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එවැනි විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීම් කිරීමට පැමිණිකාර පාර්ශවයට හැකියාව තිබෙන බව දන්වා සිටියා.

ඉන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර විභාගය සඳහා ජනවාරි මස 31 වනදා කැඳවීමටයි අධිකරණය නියම කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?