පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැයේ අරමුණ බව ජනපති කියයි

පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැය මඟින් පියවර තැබූ බවත් 2023 වසරේ සිට 2027 වසර දක්වා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට මෙ මඟින් හැකියාව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

වවුනියාව නගර ශාලාවේ අද (19) පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ..

“ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ වවුනියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරෙන බව අපට පැහැදිලියි. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම නිලධාරීන් සිව් දෙනෙක් ආහාර සුරක්ෂිතතා වැඩසටහන සඳහා පත්කර තිබෙනවා. ඉන්දියානු ආධාර යටතේ දියර කිරි කර්මාන්තය උතුරු පළාත තුළ සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවට ඔබ කැඳෙව්වේ රටේ පවතින ආහාර හිඟය පිළිබඳවත් දැනුවත් කර ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි. ඉදිරියේදී රටේ ආහාර හිඟයක් ඇතිවීම පාලනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 2023 අවසානය දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් ඉදිරියට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පසුව අප සලකා බලනවා. ගෝලීය ආහාර හිඟයක් ඉදිරියේ ඇති වෙන්න පුළුවන්. ඒ, තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීමට මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන වැදගත් වන බව කිව යුතුයි. අප්‍රිකාවේ මේ වන විටත් ආහාර හිඟය දැවැන්ත ලෙස බලපා තිබෙනවා.

අපි සාර්ථක මහ කන්නයක් ලබාගෙන තිබෙනවා. අනෙක් බෝගවලත් එවැනි ඵලදාවක් ලැබුණොත් ආහාර හිඟයට පහසුවෙන් මුහුණ දිය හැකියි. මීට අමතරව තව කාරණා දෙකක් තියෙනවා. එකක් මන්දපෝෂණය පාලනය කිරීම, අනෙක ලැබෙන අස්වැන්න ආරක්ෂා කිරීම. අස්වැන්න නෙළන අවස්ථාවේදී නාස්තිය අවම කර ගැනීමට අප පියවර ගතයුතුයි. එමෙන්ම ඒවා ගබඩා කිරීමට සහ පාරිභෝගිකයන්ට සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. එහිදී වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට විශාල වගකීමක් තිබෙනවා. තිබෙන අතිරික්ත ආහාර සුරක්ෂිත කිරීමට අප කටයුතු කළ යුතුයි. ඒ වගේම මෙම දිස්ත්‍රික්කවල අධ්‍යාපන, සෞඛ්‍ය පිළිබඳ ගැටලු කිහිපයක් මෙම සාකච්ඡාවලදි අනාවරණය වුණා. ඒවාට කඩිනමින් විසඳුම් ලබා දෙන්න අප බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එමඟින් ආර්ථිකයට විශාල වර්ධනයක් ඇති කිරීමට අපට හැකියාව ලැබෙනවා. අපනයන ආර්ථිකයේ පුළුල් වෙනසක් සිදුකර, විශාල ලෙස ඩොලර් උපයන ආර්ථිකයකට අපි යා යුතුයි. ඒ පිළිබඳ වැඩසටහන 2023 අයවැයෙන් මා ඉදිරිපත් කර තිබෙනවා. එහිදී උතුරටත් විශාල වැඩ කොටසක් තිබෙනවා.

යාපනයට විතරක් නොවෙයි. වන්නියටත් එහි වගකීමක් තිබෙන බව සිහිපත් කරන්න කැමතියි. අපට අලුත් බලශක්ති ආර්ථිකයක් අවශ්‍යයි. එහි ප්‍රධාන කලාපය වෙන්නේ උතුරු පළාතයි. අපට විදේශ විනිමය විශාල වශයෙන් එමගින් ලබා ගත හැකියි . මැදපෙරදිගට හා සිංගප්පූරුවට ආහාර අපනයනය කිරීම මගින් ආදායම් ඉපයීමට අවස්ථාව තිබෙනවා. අලුත් බෝග වගා කිරීම සඳහා අප අවස්ථාව ලබා දෙනවා. කුරුදු වැනි බෝග වගා කිරීමට අවස්ථාව තිබෙනවා .

සත්ව පාලනය සඳහා වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන්. එවැනි වැඩසටහන් ගණනාවක් තිබෙනවා. 2023 සිට 2027 දක්වා පස් අවුරුදු සැලැස්මක් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ කාරණාවේදි වන්නියට විශාල වගකීමක් පැවරී තිබෙන බව කියන්න කැමතියි. වව්නියාව ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බවට පත් කරන්න තිබෙන හැකියාව පිළිබඳව අප මේ වන විට සොයා බලමින් සිටිනවා. මේ සියලු දේ සිදු කිරීමට ඔබ සැමගේ සහාය මම බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?