දියවන්නා ඔයේ ඔරුවක් පෙරළී දියේ ගිලී මියයාම සම්බන්දයෙන් වූ සිද්ධියට පොලිසිය තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජගිරිය, මට්ටක්කුලිය, වැලිකඩ ආදී ප්රදේශවල පුද්ගලයන් 6 දෙනෙකු අද (26) අළුයම 1.30 ට පමණ මාළු ඇල්ලීම සඳහා දිය සර උයන වෙත පැමිණ එයින් දෙදෙනෙකු ආරක්ෂක දැලෙන් දියවන්නා ඔයට දැලක් හා ඔරුවක් දමා මාළු ඇල්ලීම සඳහා යමින් සිටියදී ඔරුව පෙරළීමත් සමඟම එක් අයෙකු පිහිනා ගොඩට පැමිණ තිබෙන අතර අනෙක් පුද්ගලයා දියේ ගිලී අතුරුදහන් වී තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ රාජගිරිය ප්රදේශයේ 17 හැවිරිදි තරුණයෙක්.
සිද්ධිය වූ දෙසට ත්රීරෝද රථයක් පැමිණීමේදී පොලිසියෙන් යැයි සිතූ පිටත සිටි පුද්ගලයන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු පළාගොස් ඇති අතර පිහිනා ගොඩට පැමිණි පුද්ගලයා සහ සෙසු පුද්ගලයන් දෙදෙනා දියවන්නා ජලාශයේ රාජකාරි සිදු කරනු ලබන නාවික හමුදාව දැක සිද්ධිය පිළිබඳ පවසා ඇති අතර එම නිලධාරීන් එම ස්ථානය පරීක්ෂාකර පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන භාරදුන් බව පොලිසිය සඳහන් කළා.
අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදා කිමිදුම් කරුවන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මඟින් විමර්ශන සිදු කරයි.
තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.