තමා මූලිකත්වය දෙන්නේ දේශපාලනයට නොව ආර්ථිකය ගොඩනැඟීමට බව ජනපති කියයි

ආණ්ඩුව මැතිවරණ කල්දමන බවට විපක්ෂය චෝදනා කළත් මැතිවරණයක් පැවැත්වීමට අදාළව නියමිත දිනයක් තවමත් මැතිවරණ කොමිසම විසින් නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.

තමා මූලිකත්වය ලබා දෙන්නේ දේශපාලනයට නොව ආර්ථිකය ගොඩනැඟීමට බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ගොඩනඟා ගැනීමට නොහැකි වුවහොත් රටක් ඉතිරි නොවන බවයි අවධාරණය කළේ.

රට අහිමි කරගෙන ව්‍යවස්ථාව ආරක්ෂා කළ නොහැකි බවත්, ව්‍යවස්ථාව ආරක්ෂා වීමට නම් රට ආරක්ෂා කරගත යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…..

අද අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ඡන්දයක් විපක්ෂයෙන් ඉල්ලා තිබෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම ඡන්ද ඉල්ලන්නේ නැහැ. මේ රටේ විදුලිබලය අත්‍යාවශ්‍ය සේවාවක්. ඇයි මෙම සේවාවන්වලට විරුද්ධ වෙන්නේ. අඛණ්ඩව විදුලි බලය ලබා දෙනවාට විපක්ෂය විරුද්ධයි ද? විවාදයක් අවශ්‍ය නම් විවාදයක් ලබාදීමට අපි සූදානම්. නමුත් විවාදය ඉල්ලුවේ අත්‍යාවශ්‍ය සේවා පිළිබඳව නොවෙයි. විවාදය ඉල්ලා තිබුණේ ඡන්දය කල්දානවා කියලා. ඡන්දය කල්දාලා නැහැ. කල්දාන්න ඡන්දයකුත් නැහැ. මම මීට පෙරත් පවසා තිබෙනවා. මම මේ ඡන්ද විවාදයට සම්බන්ධ වන්නේ නැහැ. මට දේශපාලනය වුවමනාත් නැහැ.

නමුත් මැතිවරණ කොමිෂමත් මෙම ඡන්දය පිළිබඳ උසාවියට ගොස් තිබෙනවා. ඔවුන් කියනවලු ඡන්දයක් පවත්වන්න බැහැ කියලා.

නමුත් දිවුරුම් පෙත්සමක් ලබාදී ඇති නිසා මම මේ පිළිබඳ වචන කිහිපයක් කතා කළයුතුයි. නැත්නම් මා යටතේ සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අනෙකුත් නිලධාරීන්ට විශාල අසාධාරණයක් සිදු වෙනවා.

“මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කොමිසමට දන්වා ඇත” යනුවෙන් ඔවුන් සඳහන් කර තිබෙනවා. ඒක සම්පූර්ණ අසත්‍යයක්.

රටේ ආර්ථික තත්ත්වය අනුව මේ අවස්ථාවේ ඡන්දය පැවැත්වීමට අපට මුදල් නොමැති බව වගේම මෙම අවස්ථාවේ ඡන්දයක් පැවැත්වීම රටේ ආර්ථිකයට හිතකර නොවන බවත් ඒ නිසා මන්ත්‍රිවරුන් සංඛ්‍යාව 5,000ට අඩු කරගෙන මැතිවරණය පවත්වන්න කියලා මම පසුගිය දෙසැම්බර් 14 වෙනිදා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දුන්නා. මමයි මුලින්ම ඒ දැනුම් දීම සිදු කළේ. මම හිතුවා මේ කාරණය ඒ අයට දැනුම්දීම මගේ යුතුකමක් කියලා. මොකද මෙය සාමාන්‍ය කොමිසමක් නොවන නිසා.

පාර්ලිමේන්තුව විසින් සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනයේ අන්තර්කාලීන විධිවිධාන යටතේ 3 වැනි කොටසේ සඳහන් වෙනවා, “මේ පනත ක්‍රියාත්මක වන දිනයට පෙරාතුව ම වූ දිනයේදි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හෝ සාමාජික ධූරය දරණ සෑම තැනැත්තෙක්ම මේ පනත ක්‍රියාත්මක වන දින සිට බලපැවැත්වෙන පරිදි ඒ ධූරය දැරීම නතර වන්නේය” කියලා.

ඒ වගේම “ මේ පනත ක්‍රියාත්මක වන දිනයට පෙරාතුව ම වූ දිනයේ දී ඉහත සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා හෝ යම් සාමාජිකයෙකු හෝ වශයෙන් ධූරය දරණ තැනැත්තෙකුට එකී අදාළ කොමිෂන් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VII අ වන පරිච්ඡේදයට අනුකූලව ස්ථාපිත කරනු ලබන දිනය තෙක් තම අදාළ ධූරවල බලතල හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම දිගටම කරගෙන යනු ලැබිය හැක්කේය. යනුවෙනුත් එහි සඳහන්. 21 වන සංශෝධනයට කතානායකතුමා අත්සන් තබා ඇත්තේ ඔක්තෝබර් 31 වනදා යි.

ඒ අනුව ඇත්ත වශයෙන් මේ තිබෙන්නේ තාවකාලික කොමිසමක්. මේ තාවකාලික කොමිසම තිබුණේ ව්‍යවස්ථාව යටතේ. මේ කොමිෂන් සභාව වගකියන්නේ පාර්ලිමේන්තුවට මිස වෙනත් කිසිවෙකුට නොවෙයි. එසේ නම් මෙය ඉදිරියට ගෙන යන්නේ කෙසේද කියා මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු සාකච්ඡා කළයුතුයි. මම දැනුවත්ව එවැන්නක් සිදුව නැහැ. එය තමයි පළමු වැරැද්ද. දෙවනුව එම කොමිසමේ සාමාජිකයන් හමු වූ අවස්ථාවලදීත් මම මේ තත්ත්වය පැහැදිළි කළා. ඉතින් ලේකම්වරයාට චෝදනා කිරීමට අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයා ලෙස මම අවශ්‍ය දැනුම් දීම සිදු කළා.

ඉන් අනතුරුව ජනවාරි මස 05 වැනිදා ප.ව 3.00ට මමත්, අගමැතිතුමාත්, නීතිපතිතුමාත් මේ අය මුණ ගැසුණා. මේ මුණගැසීම සිදුවුයේ ඡන්දය කල්දැමීම ගැන සාකච්ඡා කරන්න නොවෙයි. අප මුණ ගැසුණේ මේ කොමිසම බෙදිලා තිබුණ නිසයි. ඔවුන් ප්‍රකාශ කළා දෙසැම්බර් 23 වැනිදා ඡන්දය පැවැත්වීමට තිරණය කළා කියලා. නමුත් දෙදෙනෙක් කිව්වා, කොමිසම නාම යෝජනා කැඳවීමට දිනයක් තීරණය කළේ නැහැ කියලා.

එක්කෙනෙක් කිව්වා අපි තිරණය කළා කියලා. එක් අයෙක් දෙපැත්තතටම කතා කළා. පස්වන කෙනා නුවර මහ රෝහලේ සිටියේ.

අනතුරුව නීතිපතිතුමා කිව්වා කරුණාකර කොමිසමේ වාර්තා ටික ලබා දෙන්න කියා. එවිට කිව්වා වාර්තා නැහැ කියලා.

ඉන් අනතුරුව නීතිපතිතුමා කිව්වා ඔබලා එක ස්ථාවරයකට පැමිණයහොත් නීති කටයුතු සඳහා සහාය දීමට පුළුවන්, ඒ සඳහා නිවැරදි දිනයක් යොදාගන්න කියලා. නමුත් ඒ වෙනුවට එම කොමිසම වෙන නීතිඥයෙක්ව, ඒ කියන්නේ සාලිය පීරිස් මහතාව යොදාගත්තා.

එවිට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පැමිණ මට පැවසුවා “සාලිය පීරිස්ව තියාගන්නේ කොහොමද? එයා දේශපාලනයේ සිටින නීතිඥවරයෙක්, දේශපාලනයේ නැති නීතිඥවරයෙක් යොදාගන්න කියා. නැත්නම් නීතිපතිව දෙන්න” කියලා.

මම කිව්වා මේ තත්ත්වය තුළ නීතිපතිව දෙන්න අමාරුයි. මේ සඳහා මම මැදිහත් වන්නේ නැහැ කියලා. ඒ වගේම නීතිඥයෙක් අරගන්නවා නම් ඔහු කිසිම පක්ෂයකට අයත් නැති නීතිඥයෙක් විය යුතු බව මම පිළිගන්නවා.

ඉන් අනතුරුව මේ පිළිබඳ කිසිඳු සාකච්ඡාවක් කළේ නැහැ. අය වැය විසර්ජන පනත සකස් කරන විට තමයි මැතිවරණය සඳහා බිලියන 10ක ඇස්තමේන්තුවක් ලබා දුන්නේ. එහෙත් නව වෙනිදා ලිපියක් එවා තිබෙනවා, අධ්‍යක්ෂ ජනරාල්වරයාට “අක්මුදලක් ඉල්ලුම් කිරීම” ශිර්ෂය යටතේ. එයින් ඉල්ලා තිබෙන්නේ බිලියන 06යි.

කලින් කියනවා බිලියන 10ක් අවශ්‍යයි කියා නමුත් රටේ උද්ධමනයක් ඇති පසුබිමක කියනවා බිලියන 06ක් කියලා. ඒ නිසා විශේෂයෙන්ම මේ ඇස්තමේන්තුව පිළිබඳ අමාත්‍යාංශය විසින් නැවත අවධානය යොමු කර තිබෙනවා.

බිලියන 10ක් ලෙස තිබූ ඇස්තමේන්තුව වෙනුවට බිලියන 06කින් කරන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් දැනුම් දෙනවා. මිල ගණන් වැඩිවීමත් සමඟ වැඩිපුර මුදල් අවශ්‍ය බව පොලිසිය කියනවා. අනිත් දෙපාර්තමේන්තුවලින් සම්පූර්ණ ඇස්තමේන්තුවක් ලබා දුන්නෙත් නැහැ. ඉතින් එක එක දෙපාර්තමේන්තු එක එක ඇස්තමේන්තු අපිට එවනවා. මුදල් නොතිබුණත් ඒකාලයේ මැතිවරණයට මුදල් වෙන් කළා. ඒ නිසා මැතිවරණ කොමිෂමෙන් මෙය දැනුම් දිය යුතුයි. මෙම මූලික ප්‍රශ්නය මෙතන තිබුණා.

මේ එකකටවත් මුදල් අමාත්‍යාංශය පිළිතුරු දීම අවශ්‍ය නැහැ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තිබුණා. මුදල් ඉල්ලුම් ලිපියට අත්සන් කර තිබෙන්නේ “ජී.ආර්.ඒ.කේ ගමලත්, ප්‍රධාන ගණකාධිකාරී, මැතිවරණ කොමසාරිස් ජනරාල් වෙනුවට” යනුවෙන්. එලෙස කිරීමට කිසිවෙකුට බලයක් නැහැ.

“කොමිෂන් සභාවේ බලතල සහ කාර්තව්‍ය කිසිවක් කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමසාරිස් ජනරල් වෙත හෝ කොමිෂන් සභාවේ වෙනත් යම් නිලධාරියෙක් වෙත හෝ පවරා දෙනු ලැබිය හැකි අතර කොමිෂන් සභා විධානයට සහ පාලනයට යටත්ව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා හෝ වෙනත් නිලධාරියෙක් විසින් එම බලතල සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම ද ඉටුකරනු ලැබිය යුත්තේය. (104 ඊ 6)” යන්න තමයි නිත්‍යානුකූල තත්ත්වය.

නමුත් ලිපියේ කොතනකවත් 104 ඊ 6 වගන්තිය ගැන සඳහන් කර නැහැ. අපට මෙම බලතල ලැබුණේ කොමිසමෙන් බව සඳහන් කර නැහැ. ඊට අමතරව කොමසාරිස්වරයා ලියා තිබෙනවා “මගේ සමාංක 2023 ජනවාරි 09 වෙනිදා සහ 2023 ජනවාරි 26 ලිපි මගින් මැතිවරණයේ මූලික කටයුතු සඳහා අක්මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතත් මෙතෙක් අක්මුදල් ලබා දී නැත” කියා. මේ අක්මුදල් ලබා දුන්නා නම් ඒ නිලධාරියාට විරුද්ධව විනය ක්‍රියාමාර්ගත ගත හැකියි.

මොකද ලිපිය එවු ගිණුම් නිලධාරියාට කොමිසමෙන් බලය ලබා දී තිබුණේ නැහැ. මෙතන කියන්නේ නැහැ එතුමාටවත් කොමිසමෙන් බලය ලබා දී තිබෙනවා කියා. එහෙම වුණා නම් මුලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධව අධ්‍යක්ෂ ජනරාල්ට විරුද්ධව ඕනෑම අයෙකුට උසාවියට යාමට හැකියාව තිබුණා. ඉන් අනතුරුව එයාට රාජ්‍ය සේවා කොමිසම මගින් දඬුවම් නියම කර, සේවයෙන් ඉවත් කළ හැකියි.

ඊට පස්සේ සභාපතිවරයා ලිපියක් යොමු කළා පෙබරවාරි 03වනදා. එහිවත් සඳහන් කර නැහැ තමන්ට එම බලය ලැබුණා කියා. එක ලිපියකවත් සඳහන් කර නැහැ කොමිසන් සභාවේ තීරණයක් කියලා.

ඊට පසුව පෙබරවාරි 10 වනදා ප්‍රකාශ කළා, “ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසන් සභාවට එරෙහිව දේශපාලන පක්ෂ 02ක් විසින් පවරා තිබූ එස්සීඑෆ්ආර් 6/20/22 හා එස්සීඑෆ්ආර් 7/20/22 අංක දරණ නඩු කොමිෂන් සභාව විසින් දැනටමත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ව්‍යවස්ථාපිත කටයුතු ඉටුකර ඇති නිසා සහ ඉටු කරමින් පවතින්නේය යන හේතු මත ප්‍රතික්ෂේප කරමින් ඡන්ද විමසීමේ කටයුතු එලෙසම කරගෙන යන ලෙස ගරු ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් දන්වා ඇත” කියලා.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බැලූ විට එහෙම තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී නැහැ.

ඒ වගේම දැන් පෙත්සම්කරුවන්ම ඇවිත් කියනවා “මැන්ඩාමුස් ආඥාවක්” අවශ්‍ය නැහැ කියලා. එතකොට මොකක්ද උසාවිය ලබාදෙන තීන්දුව. මැන්ඩාමුස් ආඥාවක් අවශ්‍ය නැත්නම් උසාවියට ලබාදීමට තීන්දුවක් නැහැ.

මෙතනදි ආණ්ඩුවට කිසිම බැඳීමක් නැහැ. අවම වශයෙන් ආණ්ඩුවට විරුද්ධව නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලන්න තිබුණා. ඒ කිසිවක් මෙහි සිදුව නැහැ. ඒ නිසා මම හිතන්නේ නැහැ මෙම එක් නිලධාරියෙකුටවත් මේ පිළිබඳව දොස් නඟන්න පුළුවන් කියලා.

අවසාන ප්‍රශ්නය වුණේ ඡන්දය ගැන. අප දන්න තරමින් මේ මොහොත වනතෙක් ඡන්දය පැවැත්වෙන දිනයක් නම් කර නැහැ. නිල වශයෙන් නම් කළ නීත්‍යානුකූල ඡන්ද දිනයක් නැහැ. ඇතැමුන් මාර්තු 09 ගැන සඳහන් කරනවා. මම දන්න තරමින් මැතිවරණයක් පිළිබඳව තවමත් නීත්‍යානුකූල තීරණයක් ගෙන නැහැ.

මැතිවණ කොමිෂමේ එවැනි සාකච්ඡාවක් පැවැත්වෙනවා නම් අවම වශයෙන් සාමාජිකයන් තිදෙනෙක්වත් එහි සිටිය යුතුයි.
දැන් මම ජනවාරි 22 වෙනිදා “සන්ඩේ ටයිම්ස්” පුවත්පත කියවනවා.

“මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව පෙරදා රාත්‍රියේ සම්බන්ධකරගත් විට ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනෙක්ව සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අනුමැතිය ලබාගත් බවත් පස්වන සාමාජිකයා වන එම්.එම්. මොහොමඩ් මහතා මැතිවරණ කොමිසම් කාර්යාලයේ රැඳී සිටි බවත්ය”

ඒ කියන්නේ මේ දෙදෙනායි තීරණය ගත්තේ. ඒ සභාපතියි, එම්.එම්. මොහොමඩ් යන අය. ඒ අයම කියනවා ඊට පසුව අනිත් අය කතා කර අනුමැතිය ගත්තලු. තීරණය ගත්තේ මේ දෙදෙනා. මේ පිළිබඳ අනිත් තුන්දෙනාගෙන් ඇහුවොත් ඒ අය මේ ස්ථාවරත්වයේ ඉන්නේ නැහැ. අවශ්‍ය නම් මම ඊට සාක්ෂි ගෙනත් දෙන්නම්. ඇත්ත වශයෙන්ම මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිල තීරණයක් ගෙන නැහැ.

ඉතින් අපි ගිහින් සල්ලි දුන්නොත් මගේ ලේකම් ඉවත් කර පොලිසියට කියන්න වෙයි එයාට විරුද්ධව නඩු පවරන ලෙස. රජයේ මුද්‍රණාලයාධිපතිට සිදු වන්නේ එයයි. එවිට ඒ අයගේ රැකියා නැති වෙනවා. ඉතින් මේ රජයේ නියෝජිතයන්ට දොස් පවරන්න බැහැ.

ඇත්ත වශයෙන්ම අද රටේ ආර්ථික තත්ත්වය අනුව අපට මුදල් නැහැ. එසේ නොමැතිව මැතිවරණ කල් දැමීමට හෝ නතර කිරීමට අවශ්‍ය නැහැ. ඉදිරියේ දී සියලුදෙනා සාකච්ඡා කර තීරණයකට එන්න පුළුවන්, මුදල් ලබා දෙන්නේ කොහාමද කියලා. දැනට මුදල් නැහැ.

ඒ වගේම මුදල් තිබුණත් ඡන්දයකුත් නැහැ.

මෙහි ප්‍රධානම දේ තමයි මෙම කොමිසම වගකියන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව දන්වා තිබෙනවා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස. ඒ නිසා එම තේරීම් කාරක සභාව පත් කර කරුණු සියල්ල වාර්තා කර එම වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන්න.

මොකද මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. මැග්නා කර්ටා ගිවිසුම, 1688 විප්ලවයෙන් පසුව මුදල් බලතල සියල්ල තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා තේරීම් කාරක සභාවක් හරහා එම වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන්න.

ඊළග කාරණය තමයි අයවැයෙන් වෙන් කළ මුදල් සියල්ල එකවර ලබාදීමට නොහැකියි. එම වෙන් කළ මුදල් ලබා දෙන්න කියලා නිශ්චිත දිනයක් කොහොවත් සඳහන් වන්නේ නැහැ. අයවැයෙන් වෙන් කළ මුදල් අවුරුද්ද අවසන් වන විට වියදම් කරන්න ඕන. නමුත් අයවැයෙහි සඳහන් ආකාරයටම වියදම් කිරීමට හැකි වන්නේ ආදායම් ලැබුණොත් පමණයි. නැත්නම් මේ සභාවෙන් අහන්න සිදු වෙනවා මහ බැංකුවට දන්වා මුදල් මුද්‍රණය කරනවද කියලා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම අනුව මුදල් මුද්‍රණය කිරීමට හැකියාවක් නැහැ.

ඒ වගේම තමයි විපක්ෂය අහනවා චක්‍ර ලේඛයකින් ඡන්දය කල් දාන්න පුළුවන් ද කියලා. අපි එවැන්නක් සිදු කර නැහැ. ඡන්දය පැවැත්විය යුතුයි. නමුත් තිදෙනෙක් ගන්න අවශ්‍ය තීන්දුව දෙදෙනෙක් අරගෙන නම් කොහොමද ඡන්දය පවත්වන්නේ?

අප කටයුතු කර ඇත්තේ නීතිය අනුවයි. අපි තීරණයක් ගත්තා පැරිස් සමුළුව, චීනය සහ ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟත්වයක් ඇතිකරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් යම් තීරණයක් දෙන තුරු බදු මුදල් භාවිතයට නොගන්නා බවට.

මම මූලිකත්වය දෙන්නේ ආර්ථිකයට. ආර්ථිකය ගොඩනැගුවේ නැත්නම් අපට රටක් නැහැ. මම එක ප්‍රශ්නයක් මේ සභාවෙන් අහනවා.

රට නැති කරගෙන ව්‍යවස්ථාව රකින්න පුළුවන්ද ? ව්‍යවස්ථාව ආරක්ෂා කර ගන්න පුළුවන් වන්නේ රට ආරක්ෂා කළොත් විතරයි.

මම අග්‍රාමාත්‍යවරයාටත් දැනුම් දී තිබෙනවා විපක්ෂය යෝජනා කළ ආර්ථික විනාශයට වගකිවයුත්තන් පිළිබඳ තේරීම් කාරක සභාව පිළිබඳ යෝජනාව මාර්තු 03 වන සතියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට. ආණ්ඩුව ඊට සහාය ලබා දෙනවා. ඒ වගේම විපක්ෂයෙන් යෝජනා වුණා මැතිවරණ කොමිෂම මාරු කිරීමට. අපි ඒ සඳහාත් සහාය ලබා දෙන්නම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?