ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් අධිකරණයට අසත්‍ය තොරතුරු සහ වාර්තා සැපයිම සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා රැසක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හේරත් මුදියන්සේලාගේ තුෂාර නිෂාන්ත උපුල්දෙණිය මහතා හෙට (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
නඩුව ආරම්භ වු අවස්ථාවේ දී දීර්ඝ ලෙස කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා සඳහන් කළේ මීට පෙර නත්තල් උත්සවය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කළ අවස්ථාවේ දී ද නීතියට පිටින් සිරකරුවන් 57 දෙනකු මුදා හැර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලින් හෙළි වී ඇති බවයි.
එමෙන්ම නිදහස් උත්සවය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කළ අවස්ථාවේ දී තවත් සිරකරුවන් 11 දෙනකු ද මුදා හැර ඇති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු කරන බැවින් සැකකරු හට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කළ අතර ඒ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම අවස්ථාවේදී විමර්ශන කටයුතු සිදුවන හෙයින් ඇප ඉල්ලීම සලකා බැලිය නොහැකි බවයි.
ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුකරය හෙට දින ස්ථිර මහෙස්ත්‍රාත් හමුවේ කැඳවන ලෙස නියෝග කළා.
එතෙක් සැකකරු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරුණා.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා සහ සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදුකරගෙන යනු ලබන විමර්ශනවලට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබුවා.
ප්‍රශ්න කිරිම්වලින් අනතුරුව අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුව ඉදිරිපත් කළා.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
“ස්වාමීනි… මේ සැකකරු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා. අධිකරණ නියෝග මත වරදකරු කරනු ලබන පුද්ගලයින්ට ජනාධිපතිවරයා විසින් පිරිනමන සමාව අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමයි මොහු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. ස්වාමීනි… ඔහු ඔබතුමන්ලාගේ අධිකරණ බලයත් අවභාවිතයට ලක් කරලා තිබෙනවා. ස්වාමීනි… මේ රටේ පොලිස්පතිවරයා පුද්ගලික ප්‍රහාරක බළකායක් පවත්වාගෙන ගොස් තමන්ට සතුරු හෝටලයකට පහරදී රිමාන්ඩ් භාරයට පත්වී මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා. අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා ආගමන හා විගණන පාලකත් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙනවා. දැන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා. ස්වාමීනි.. මේ පුද්ගලයෝ තමන්ගේ ආයතන ඇතුළේ වෙන ම අධිරාජ්‍යයක් පවත්වාගෙන යනවා. ඒවායේ ඔවුන් සිංහාසනාරූඪ වෙලා ඔටුනු පැළඳ සිටිනවා. එවැනි තත්ත්වයක් තමා බන්ධනාගාරයේත් තියෙන්නේ,”යනුවෙන් සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා,
“ස්වාමීනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලය හිමි වී තිබෙනවා අධිකරණය මගින් වරදකරුවන් කෙරුණු පුද්ගලයින්ට සමාව ලබා දෙන්න. ඒ යටතේ ජනාධිපතිවරයාට තෝරා ගත් පුද්ගලයින්ට සමාව ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙසක්, නත්තල් වැනි විශේෂ දිනවල රැඳවියන්ට පොදු සමාව ප්‍රදානය කිරීම සිදු කරනවා. එහිදී සිදුවන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හරහා දිවයිනේ තිබෙන බන්ධනාගාරවලින් වාර්තා කැඳවනවා. පසුව ඒවා වර්ගීකරණය කර සමාව දිය යුතු රැඳවියන් පිළිබඳව අධිකරණ අමාත්‍යාංශ ලේකම්ට ඉදිරිපත් කරන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා. පසුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම වාර්තාව ජනාධිපති ලේකම්ට යොමු කරනවා. මේක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. ඒ යටතේ ඉකුත් වෙසක් දින සමාව දිය යුතු රැඳවියන් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ අනුව දිවයිනේ පිහිටි බන්ධනාගාර 28කින් වාර්තා කැඳවා තිබුණා. අවසානයේ දී සමාව දිය යුතු පුද්ගලයින් 388 දෙනෙකුගේ ලැයිස්තුවක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට යොමු කර තිබෙනවා,” අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවා.
ඉන් අනතුරුව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා,
“ස්වාමීනි.. අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කළ අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකුට අධිකරණය විසින් රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම කර තිබෙනවා. එම දඩය නොගෙවීම නිසා එය වන්දියක් වශයෙන් අය කර ගන්නා ලෙස දන්වා එම පුද්ගලයාව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කළා. නමුත් මෙම නඩුව ඉකුත්දා අනුරාධපුර මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් දැනුම්දී තිබෙනවා මොහුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කර තිබෙන බව. ස්වාමීනී… ඉකුත් වෙසක් දින පොදු සමාව ප්‍රදානය කර නිදහස් කළ රැඳවියන් 388 දෙනාගේ ලැයිස්තුවට මෙම පුද්ගලයාගේ නම ඇතුළත් වී නැහැ. ඒ වගේ ම වෙසක් දින පොදු සමාව ප්‍රදානය කිරීම සඳහා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඉදිරිපත් කළ රැඳවියන් 36 දෙනාගේ ලැයිස්තුවේත් මේ තිලකරත්න නමැති පුද්ගලයාගේ නම ඇතුළත් වී නැහැ. එසේ නම් ස්වාමීනී මේක සිදුවුණේ කොහොම ද? ස්වාමීනි මේ සැකකරු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ බලය අවභාවිතා කරමින් තමයි මේ පුද්ගලයාට සමාව ප්‍රදානය කරලා නිදහස් කර තිබෙන්නේ.
”මේක ඉතා භයානක තත්ත්වයක් ස්වාමීනි. අපි අධිකරණය හමුවේ පුද්ගලයෙකු වරදකරු කරන්න කොයිතරම් මහන්සියක් දරනවාද? දීර්ඝ නඩු විභාගයකින් පස්සේ තමයි පුද්ගලයකු අධිකරණය විසින් වරදකරු කරන්නේ. එවැනි ක්‍රියාදාමයකින් වරදකරුවන් කරන පුද්ගලයෙකු මේ සැකකරු රජ්ජුරුවෝ වගේ නිදහස් කරන්න කටයුතු කරනවා. ස්වාමීනි මේක අධිකරණ බලයට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක්. මේ සිද්ධිය මාධ්‍යවලින් පළවීමෙන් පසුව විශාල ආන්දෝලනයක් ඇතිවුණා. මොකද නිදහස් කළ මේ පුද්ගලයා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කෙනෙක්. ජනාධිපතිතුමත් අනුරාධපුර ප්‍රදේශයේ කෙනෙක්. ඒ නිසා කිසියම් පෞද්ගලික හේතුවක් මත මේ නිදහස් කිරීම සිදුකළ බවට සමාජයේ ආරංචි පැතිරෙන්න ගත්තා. ඒ නිසා රජය මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්න තීන්දු කළා.”
යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා.
ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර තිබෙන විමර්ශනවල ප්‍රගතිය ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට වාර්තා කළා.
” ස්වාමීනි.. මේ සිද්ධිය සම්බන්ධයෙන් කෙටි කාලය තුළ අපි විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කර ගත්තා. එම පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා මේ ආකාරයෙන් සැකකරුවන් නිදහස් කිරීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු වී තිබෙන බවට. 2024 වසරේ නත්තල් දින මේ ආකාරයෙන් සැකකරුවන් 57 දෙනෙකු නීතියට පරිබාහිරව නිදහස් කර තිබෙන බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වෙලා තිබෙනවා. ඊට අමතරව මෙම වසරේ නිදහස් දිනත් තවත් වරදකරුවන් 11 දෙනෙකු මේ ආකාරයේ නිදහස් කර තිබෙන බවට කරුණු හෙළි වී තිබෙනවා. නිදහස් කරන ලෙස නිර්දේශ කරන පුද්ගලයින් නිදහස් නොකොට බන්ධනාගාර අධිකාරීවරු තම අභිමතය පරිදි තමන්ට අවශ්‍ය පුද්ගලයින් නිදහස් කිරීමට කටයුතු කර තිබෙන බව අපට පෙනි ගොස් තිබෙනවා. අධිකරණවලින් රුපියල් ලක්ෂ 20-25 දඩ නියම කළ පුද්ගලයින්වත් මේ ආකාරයෙන් නිදහස් කරලා.
ස්වාමීනී, මෙවැනි නිදහස් කිරීම් පිළිබඳව අපි පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. බන්ධනාගාර කොමසාරිත් ජෙනරාල් ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් පිළිබඳවත් විමර්ශනයක් කරන්න කටයුතු කරනවා. මේක භයානක තත්ත්වයක්. ජනාධිපති සමාවට මුවාවෙලා මේ සැකකරු භයානක අපරාධකරුවන් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මේ සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේ ජනාධිපති අතිරේක ලේකම් ප්‍රසන්න ඉන්ද්‍රජිත් විසින්. ඒ අනුවයි මෙම විමර්ශනය ආරම්භ වෙලා තිබෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශාල මහජන කැලඹීමක් හටගෙන තිබෙනවා.”
යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ;
” ස්වාමීනි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි මෙම සැකකරු කටයුතු කර තිබෙන්නේ. වෙසක් දින හෝ නත්තල් දින නිදහස් කරනු ලබන රැඳවියන්ගේ නම් එවනු ලබන්නේ සෑහෙන කාලයකට පෙරයි. ඒ නම් ලැයිස්තු එව්වට පස්සේ ඒ කාලසීමාවේම තවත් පිරිසක් සමාව ලැබීමට සුදුසුකම් ලබනවා. අදාළ චක්‍රලේඛයට අනුව බන්ධනාගාර බලධාරීන්ට හැකියාව තිබෙනවා එසේ පසුව සුදුසුකම් ලබන පුද්ගලයින්ගේ නම් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන්න. එසේ එවනු ලබන නම් අර මුලින් එවන ලැයිස්තුවේ ඇතුළත් වන්නේ නැහැ. මේක ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයකට අනුකූලව සිදුවන දෙයක්. ස්වාමීනි… වැරදි පුද්ගලයෙක් නිදහස් කරලා තිබෙනව නම් ඒකට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වගේම ජනාධිපති ලේකම්වරයා සැකකරුවන් ලෙස නම් කළ යුතුයි. මාගේ සේවාදායකයා නීතියට පටහැනිව කිසිදු රැඳවියකු මුදා හැර නෑ. මාගේ සේවාදායකයා මෙම විමර්ශනවලට පූර්ණ සහාය දෙන්න කැමතියි. ඔහු මේ වන විට වැඩ තහනමට ලක්වී සිටිනවා. ඒ නිසා බන්ධනාගාරය තුළට යාමට ඔහුට හැකියාවක් නෑ. ඒ වගේම සාක්ෂිවලට බලපෑම් කිරීමටත් හැකියාවක් නෑ”
යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා තම සේවාදායකයා ඕනෑම කොන්දේසියක් මත ඇපමත මුදා හරින්නැයි ඉල්ලා සිටියා.
ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා’
” ස්වාමීනි… විත්තියේ නීතිඥ මහතා විසින් මෙම සැකකරු විසින් නිකුත් කළ චක්‍රලේඛයක් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ චක්‍රලේඛයේ කිසිදු යොමු අංකයක් නැහැ. යොමු අංකයක් නැතිව චක්‍රලේඛයක් නිකුත් කරන්න පුළුවන්ද? ආයතන ප්‍රධානියෙකුට මෙයාකාරයෙන් කටයුතු කරන්න බැහැ.”
යනුවෙන් සඳහන් කළා.
එමෙන්ම රට පුරා බන්ධනාගාරවල සේවය කරන බන්ධනාගාර අධිකාරිවරු ඇතුළු උසස් නිලධාරීන්ගේ වත්කම් බැරකම් සොයා බැලීමට වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවිමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම අවස්ථාවේදී සැකකරුට ඇප නියම කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා.
ඒ අනුව සැකකරු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා හෙට දින සැකකරු ස්ථිර මහේස්ත්‍රත් හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරුණා.
සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට බන්ධනාගාරය තුළ දී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් කළා.
ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා” ඒක එයාගේ ගෙදරනේ. විශේෂ ආරක්ෂවක් අවශ්‍ය වෙන්නේ නැහැ.” යනුවෙන් සඳහන් කළා.
තම සේවාදායකයාට පාතාල ක්‍රියාකාරිකයින්ගෙන් තර්ජන පවතින හෙයින් ඔහුට විශේෂ ආරක්ෂව සපයා දීම අවශ්‍ය බවත් මෙහිදී විත්තිය නීතිඥවරයා අධිකරණයට පෙන්වාදුන්නා.
ඒ අනුව බන්ධනාගාර ගත කළ සැකකරුට විශේෂ ආරක්‍ෂාව සපයා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.
ඉන් අනතුරුව බන්ධනාගාර බසයට නංවාගෙන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන ගියා.