කොළඹ නගරයේ හිඟ වරිපනම් ආදායම් අයකර ගැනීමට විධිමත් ක්‍රමයක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) කොළඹ මහ නගර සභාවට උපදෙස් ලබා දී තිබෙනවා.
වරිපනම් අදායම් පවත්වාගෙන යාම ඇතුළු තවත් කාර්යයන් කිහිපයක් සඳහා KOICA ව්‍යාපෘතිය මගින් දත්ත පද්ධතියක් සකස් කිරීමට අපේක්ෂා කරන බව කොළඹ මහ නගර සභා නිලධාරීන් කෝපා කමිටුවට දන්වා ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව KOICA ව්‍යාපෘතිය සමග සාකච්ජා කර වරිපනම් එකතු කිරීමේ කාර්ය සාධනය වැඩි කිරීම උදෙසා එම වරිපනම් ආදායම් ක්‍රමවත්ව රැස්කිරීම සඳහා සකස් කරන නව දත්ත පද්ධතිය උපයෝගි කරගැනීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙස කොළඹ මහ නගර සභාවට කාරක සභාව විසින් උපදෙස් ලබාදෙනු ලැබුවා.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ කොළඹ මහ නගර සභාවේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පසුගිය 08 වන දින කැඳවූ අවස්ථාවේදී යි.
මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට දේපළ හඳුනාගැනීම සිදුකර ඇති බවට සඳහන් කළ කොළඹ කොටුව ප්‍රදේශයේ හිඟ අදායම් අයකරගැනීමේ කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කරන ලෙස ලබාදුන් නිර්දේශය ක්‍රියාත්මක නොකර තිබීම පිළිබඳව කෝපා කමිටුව අදාළ නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.
ඊට පිළිතුරු ලබාදුන් නිලධාරීහු රුපියල් මිලියන 610.96ක් වන හිඟ අදායම් වලින් මේ වනවිට රුපියල් මිලියන 148ක මුදලක් අයකර ගැනීමට හැකිවූ බව පැවසුවා.
ඉතිරි මුදල් අයකරගැනීමට අවශ්‍ය කටුයුතු සිදුවෙමින් පවතින බවත් ඔවුන් සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම එකතු කර ගැනීමට පවතින හිඟ ආදායම් විධිමත්ව අයකර ගැනීමේ සැළස්ම පිළිබඳව සම්පුර්ණ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබාදුන්නා.
තවද කොළඹ මහ නගර සභාවට ලැබෙන අනෙකුත් අදායම් මාර්ග එකතු කරගැනීම සඳහා විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීමේ වැඩපිළිවෙළ සහ හඳුනාගත නොහැකි දේපළ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙස ද සභාපතිවරයා විසින් කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවා.
මේ අතර අනවසරයෙන් භුක්තිවිඳින මෝදර එලිහවුස් (Elie House) ඉඩම සම්බන්ධයෙන් කෝපා කමිටුව පෙර ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳවද කමිටුවේදී සාකච්ජා කෙරුණා.
එහිදී කෝපා කමිටුව විසින් ඒ වනවිට එම ඉඩම තුළ අනවසරයෙන් භුක්ති විඳින දේපොළ සම්බන්ධව එම දේපළ භුක්තිවිදින පිරිස් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය පිළිබඳව ආණ්ඩුකාරවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ජාවෙන් අනතුරුව, එම දේපළ කොළඹ මහනගර සභාව වෙත පවරා ගැනීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙස ද නිර්දේශ කර තිබෙනවා.
කෙසේ වෙතත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ජා කර අනවසර භුක්තියට අදාළ හිඟ කුලිය හා දඩ මුදල් ගෙවීමට එකඟ වී ඇතත් ඉදිරි කටයුතු සිදුකර නොමැති බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් කාරක සභාවට දැන්වුවා.
එහිදී එම ඉඩමේ මුළු ප්‍රමාණය පර්චර්ස් 140 වුවද ඉන් 1992 සිට ගිවිසුම් ගතව ඇත්තේ පර්චර්ස් 40ක ප්‍රමාණයකට පමණක් බව අනාවරණය වුණා.
එම ගිවිසුමද 2022 වසරේදී කල් ඉකුත්වී ඇති බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු කාරක සභාවට දන්වනු ලැබුවා.
එහිදී අදහස් දැක්වූ කොළඹ මහ නගරසභාවේ නිලධාරීහු එම ඉඩමේ පුණ්‍ය ආයතනයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඔවුන් හා එකඟතාවෙන් අදාළ හිඟ කුලිය හා දඩ මුදල් ලබාගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බව පැවසුවා.
එමෙන්ම ගිවිසුම්ගත නොවී භාවිතා කරන ඉතිරි පර්චර්ස් 50 නැවත පවරා ගැනීමට කටයුතු කරන බවද නිලධාරීහු කාරක සභාවට දන්වා තිබෙනවා.
කෙසේ වෙතත් මෙලෙස කටයුතු කිරීම තුළින් ගැටලු රැසක් මතුවන බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මූල්‍ය සහ රාජ්‍ය පරිපාලන නීති රීති අනුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළා.
ඒ අනුව භාවිතා කරන ඉතුරු පර්චස් ප්‍රමාණය සඳහා අයකරන හිඟ දඩ මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙස උපදෙස් ලබාදුන් අතර එම වාර්තාව දෙසැම්බර් මස අග වනවිට ලබාදීමට හැකි බව නිලධාරීහු කාරක සභාවට දන්වනු ලැබුවා.
මේ අතර බොරැල්ල සුසාන භූමි පාලකගේ නිල නිවාසය හා ඉඩම අවභාවිතා කරමින් අනවසරයෙන් ඉදිකර ඇති මල්ශාලාව පිළිබඳව කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස
සාකච්ජා වුණා.
ඒ සම්බන්ධව පුර්ණ පරීක්ෂණයක් සිදු කර කාරක සභවට වාර්තාවක් ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුනද එම වාර්තාව එතෙක් කාරක සභාවට ලබානොදීම පිළිබඳව කාරක සභාව සිය නොසතුට පළ කළා.
කෙසේ වෙතත් සිදුවීමට අදාළව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගෙන ඉදිරි කටයුතු සිදුකරගෙන යමින් පවතින බව නිලධාරීහු කාරක සභාවට දන්වා සිටියා.















