මිල්කෝ ආයතනයට අයත් දිගන කර්මාන්තශාලාවේ නිෂ්පාදන දෝෂයක් නිසා වැනිලා රසැති කිරි පැකට් 122,000 ක තොගයක් එම කර්මාන්තශාලා භූමියේ වළ දැමීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
මිලි ලීටර් 180 ප්‍රමාණයේ මෙම කිරි පැකට් ඉකුත් නොවැම්බර් මස 27 වැනිදා නිෂ්පාදනය කර ඇති අතර, ඉකුත් 30 වැනිදා එම කිරි පැකට් ඩෝසර් යන්ත්‍රයක් යොදාගෙන කර්මාන්තශාලා භූමියේම වළ දැමූ බවද මිල්කෝ ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මෙම කිරි පැකට් තොගය නිෂ්පාදනය සඳහා යොදාගෙන තිබෙන එළකිරි ප්‍රමාණය ලීටර් 22,000ක් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කර්මාන්තශාලාවේ කිරි පැකට් නිෂ්පාදන කටයුතු කරන අතරතුර ඒවා වරින් වර රසායනාගාර පරීක්ෂාවකට ලක්කරනු ලබන්නේ නම් මෙතරම් බරපතළ නාස්තියක් සිදු නොවන බව මිල්කෝ ආයතනයේ සේවකයෝ පවසති.
රටේ කිරි නිෂ්පාදනය පහත වැටී තිබෙන අවස්ථාවක මෙයාකාරයෙන් එළකිරි නාස්තියක් සිදු වන්නේ මිල්කෝ ආයතනයේ අවිධිමත් පරිපාලනය නිසා බවද එම සේවකයන් සඳහන් කරයි.
නරක් වූ කිරි පැකට් පොලිතීන් ඇසුරුමද සහිතව මෙලෙස ඉඩම් තුළ වළ දැමීම නිසා දැවැන්ත පරිසර හානියක්ද සිදුවේ.
මේ පිළිබඳව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්ගෙන් කළ විමසීමකදී කියා සිටියේ තමන්ටද මේ සම්බන්ධව තොරතුරු ලැබුණු බවත්, ඒ පිළිබඳව මිල්කෝ සභාපතිවරයාගෙන්ද විමසීමක් කළ බවය. මීට පෙරදී ද මෙවැනිම සිද්ධියක් පොළොන්නරුවෙන්ද වාර්තා වූ බවද ඇමැතිවරයා කීවේය. රටේ කිරි අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි දෑ සිදුවීම පිළිබඳව සොයා බලන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.