ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඊයේ ( 13 ) දහවල් වන විට පහත්බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී පවුල් 87 ක සාමාජිකයන් 487 දෙනකු පීඩාවට පත්ව නිවාස 27 කට අර්ධ හානි සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා .
මෙම පිරිසෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි . එහි පියදිගම , දංගෙදර , දෙද්දුගොඩ යන ග්‍රාමසේවා වසම්වල පවුල් 60 ක සාමාජිකයන් 300 ක් පීඩාවට පත්ව ඇත . ඉමදුව , හබරාදුව තවලම , ඇල්පිටිය , බෝපෙ පෝද්දල සහ රත්ගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 27 ක සාමාජිකයන් 107 ක්ද පීඩාවට පත්ව ඇත . මේ අතර ඇල්පිටිය ඉහළ නැගෙනහිර ප්‍රාථමික පාසලේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් හානි සිදුව ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවද ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි . ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ මිනුවන්ගොඩ බිංගෙය අසළ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට ද බාධා පැමිණ තිබිණ .
ගාල්ල දිස්ත්‍රික් ආපදා සහනසේවා මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සියලුම සහන සැලසීම සඳහා පියවර ගෙන ඇති අතර හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් පීඩාවට පත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගෙන යෑම සඳහා නෙළුව , තවලම , නාගොඩ ආදී ප්‍රදේශවල බෝට්ටු සේවාවක්ද සුදානම් කර ඇති බවයි .