කැනඩා – ඇමෙරිකා දේශ සීමාව ආසන්නයේදී අධික ශීතල හේතුවෙන් මිය ගොස් සිටි ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ.
කැනඩා – අමෙරිකානු දේශ සීමාවේ සිට මීටර් 12ක් පමණ දුරින් පිහිටි එමර්සන් ප්‍රදේශය අසලදී මැනිටෝබා රාජකීය කැනේඩියානු මවුන්ටඩ් පොලිසිය විසින් මෙම ඉන්දීය ජාතික පවුලේ සාමාජිකයින්ගේ මළ සිරුරු සොයාගනු ලැබ තිබේ.
එම පවුල කාලාන්තරයක් තිස්සේ රට පුරා සංක්‍රමණය කර ඇති අතර ඔවුන් සිව් දෙනාගේ මරණය මිනිස් ජාවාරම් සැලැස්මකට සම්බන්ධ බව කැනේඩියානු බලධාරීන් පවසා ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ, එක ම පවුලේ 39 හැවිරිදි ජග්දීෂ් පටෙල් නම් පියා, වෛෂයිල්බෙන් පටෙල් නම් 37 හැවිරිදි මව, විහන්ගි සහ ධර්ක්මික් යන වයස අවුරුදු 11ක් හා 3ක දරුවන් දෙදෙනෙකි.
මින් පෙර බලධාරීන් පවසා ඇත්තේ, එම පවුලට වැඩිහිටි පිරිමියෙකු, වැඩිහිටි ගැහැණු ළමයෙකු, නව යොවුන් වියේ පිරිමියෙකු සහ ළදරුවෙකු සිටින බව ය.
එහෙත්, මේ වන විට අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූවන් අතර යොවුන් වියේ පසුවන තරුණයෙකු නොව තරුණියක් සිටින බව යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මිය ගිය අයගේ අනන්‍යතාව කැනේඩියානු බලධාරීන් විසින් තහවුරු කරනු ලැබ ඇති අතර මරණ පරීක්ෂණ ජනවාරි 26 වන දින අවසන් කර ඇත.
මැනිටෝබාහි ප්‍රධාන වෛද්‍ය පරීක්ෂක කාර්යාලය මරණයට හේතුව අධික ශීතලට නිරාවරණය වීම බවට තහවුරු කර ඇති බව රාජකීය කැනේඩියානු මවුන්ටඩ් පොලිසිය ඊයේ (ජන. 27) ප්‍රකාශ කර තිබේ.
කැනඩාවේ ඔටාවාහි පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මිය ගිය සිව් දෙනාගේ අනන්‍යතාව හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ට මෙම සිදුවීම සම්බන්ධයෙන් දන්වා ඇති බව ය.
පටෙල් පවුල 2022 ජනවාරි 12 වන දා ටොරොන්ටෝ වෙත පැමිණ ඇති අතර එතැන් සිට ජනවාරි 18 වන දා එමර්සන් වෙත ගමන් කර ඇති බව රාජකීය කැනේඩියානු මවුන්ටඩ් පොලිසිය තහවුරු කර ඇත.
එමර්සන්හි කැනඩා-අමෙරිකා දේශ සීමාව අසල කිසිදු වාහනයක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ඔවුන් සිය ගමනාන්තය දක්වා පයින් ම ගමන් කර තිබිණි.
පටෙල් පවුල පා ගමනින් ඇමෙරිකාවට යාමට උත්සාහ කළ රාත්‍රියේදී උෂ්ණත්වය -35C දක්වා පහත වැටී තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
ජනවාරි 19 සවස දේශ සීමා නියෝජිතයන් විසින් තවත් ඉන්දියානු ජාතිකයන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හඳුනාගනු ලැබ ඇති නමුත් මෙම සිදුවීම එයට සම්බන්ධ ද? යන්න එම පොලිසිය සඳහන් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසා තිබේ.
මෙම කණ්ඩායම සමග 47 හැවිරිදි ෆ්ලොරිඩාවේ පදිංචිකරුවෙකු වන ස්ටීව් ෂැන්ඩ්ට මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, පටෙල් පවුල සොයාගෙන ඇති දින රාත්‍රියේ ම ඔහු 15 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහිත වෑන් රථයක් දේශසීමා හරහා පදවාගෙන යමින් සිටියදී පොලිසිය ඔහු හසු කරගෙන ඇති බව ය.
ඔහුගේ මෝටර් රථයේ ඔහු සමග ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකු ද සිට ඇති බව වාර්තා වේ.
කැනඩාවේ අධික ශීත කාලගුණය තුළ පටෙල් පවුල අඳුරේ පයින් ගමන් කළේ මන්දැයි තවදුරට ත් ප්‍රශ්නයක් පවතී.
පටෙල් පවුලට කැනඩාවේ හෝ ඇමෙරිකාවේ ඥාති පවුලක් සිටියා ද? යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඇමෙරිකාව හා ඉන්දියාව සමග සම්බන්ධීකරණය කරමින් පටෙල් පවුල කැනඩාවට ගමන් කළේ කෙසේ ද? යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විමර්ශනය සඳහා කැනේඩියානු බලධාරීන්ට උපකාර කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ඉන්දීය කොන්සියුලර් නිලධාරියකුගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මැනිටෝබා වෙත යවා ඇත.
උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත