කසාද ජීවිතයක් තුළ තියෙන්නේ අපි ආදරය කියලා හදාගත්ත එක ටික දවසකින් වෙනස් වීම

මොහාන් රාජ් මඩවල කියන්නේ අතිදක්ෂ ලේඛකයෙක් ලෙස අප හැඳින්වුවත් නිවේදයෙක්,අධ්‍යක්ෂකවරයෙක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ කාලයක් රැඳී සිටිමින් අනතුරුව ලේඛනයට පිවිසි ඔහු අද ලේඛනයෙනුත් සාර්ථක දිගු ගමනක් ඇවිත් තිබෙනවා.ඔහුගේ පාඨක ආදරයට වයස් සීමාවක් නෑ.ඒ තරමටම මොහාන් රාජ් මඩවලගේ පොත් පාඨකයන්ට වඩාත් සමීපයි.පහු ගිය දිනයක “නිල් කට්රොල්” අලුත්ම නවකතාව තමන්ගේ ආදරණීය පාඨක රසිකයන්ට තිළිණ කරමින් මොහාන් රාජ් මඩවල සිය නවකතා ගොන්න අලුත් කලා.ඉතිං අද අපි මේ ආදරණීය කලාකරුවා සමඟ කතා බහක යෙදුණා.

මොහාන්…කොහොමද ජීවිතේ?

ජීවිතේ වරදක් නෑ .හැබැයි මේ දවස් වල නම් ඉතින් රටේ ප්‍රශ්නත් එක්ක මං හිතන්නේ නෑ කාගෙවත් ජීවිත හොඳ අතට තියෙනවා කියලා.හැමෝම රටේ ප්‍රශ්නයක පීඩනයට පත්වෙලා ඉන්නේ.ඒ නිසා ඒක අපේ හැමදේටම බලපානවා.ඒ කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතය, නිර්මාණාත්මක ජීවිතය වෙනදා වගේ නිදහසේ ගත කරන්න බැහැ.මොකද හැමදේම අවුල් වෙලා තියෙන්නේ.මෙහෙම තත්ත්වයක් ඇතුලේ හොඳින් කියලා නම් නම් කියන්න බෑ.

ඔබ ලේඛකයෙක් විදියට “ජීවිතය” කියන දේට දෙන්න පුළුවන් හොඳම නිර්වචනය මොකක්ද?

ජීවිතය දිහා සුබවාදීව බලන්න.ලේඛකයා කියනවට වඩා මම කැමතියි ඒකට artist කියලා කියන්න.මොකද ලේඛකයා නියෝජනය කරන්නේ art එක ,කලාව..හැම කලාවකින් ම බලාපොරොත්තු වෙන්නේ ජීවිතය සතුටින් ගත කරන්න.

ඇත්තටම ආර්ටිස්ට් කෙනෙක් කලාකරුවෙක් කියන්නේ කවුද?

ඕනම ආර්ටිස්ට් කෙනෙක් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ස්ටෙප් එකක් ඉස්සරහින් ඉන්න ඕන.ආර්ටිස්ට් කෙනෙක් සාමාන්‍ය ජනතාවට වඩා පිටිපස්සෙන් හිටියොත් සාමාන්‍ය ජනතාව අඳුරගෙන,ඔවුන්ට මේ සමාජයෙන් වෙන්න ඕන දේ ඔවුන් දකින දේ හරියට කරන්න බැරිවෙනවා.හොඳ ආර්ටිස්ට් කෙනෙක් මිනිස්සුන්ට සතුටුවෙන්න දැක්මක් දෙන්න ඕන,ඒක ප්‍රචාරාත්මක දැක්මක් නෙමෙයි.මේ සමාජය විනාශ වෙනවා කියලා දැක දැක සද්ද නැතුව ඉන්න එක හොඳ ආර්ටිස්ට් කෙනෙක්ට ගැලපෙන දෙයක් නෙමෙයි.

තමන් කඩේට යනකොට තමන් බඩු ගේන්නේ තමන්ගේ පවුලට,නැතුව අල්ලපු ගෙදර මනුස්සයට නෙවෙයි.අල්ලපු ගෙදර මනුස්සයෙක් ඉන්නවා,ඒක හරි,ඒ මනුස්සයා තමන්ගේ යාලුවෙක්,ඒකත් හරි..ඒත් බඩු ගේන්නේ තමන්ගේ පවුලට විතරයි.ඕනම කෙනෙක් එහෙමයි.අපි මේ රටක් පාලනය කරන්න පවුලකට දුන්නම ඒ අය කරන්නෙත් ඒකමයි.ඒ කියන්නේ තමන්ගේ පවුලට ම සලකන එක.එයාලා කවදාවත් මේ රටට බඩු ගේන්නේ නෑ,හරියට අපේ එදිනෙදා ජීවිතෙත් එක්ක සම්බන්ධ කරාම වගේ.මේ දේශපාලන අරාජිකත්වය,ආර්ථික ප්‍රශ්න සම්පූර්ණයෙන්ම මිනිසුන්ගේ වරදක්..පවුලකට ඡන්දෙ දීලා රජ කළේ නැත්නම් ජීවිතයේ මීට වඩා සතුටින් ගත කරන්න පුළුවන්.රට බංකොලොත් වෙනකන්ම මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න ඉන්න වුණා.මේ වගේ තැනකදි ඉදිරිපත් නොවන ආර්ටිස්ට් කෙනෙක් ඉන්නවනම් ඒ අය කලාකරුවන් විදිහට මම පිළිගන්නේ නෑ.මොකද කලාකරුවා කියන්නේ සාමන්‍ය මිනිස්සුන්ගෙ පැත්තේ ඉන්න ඕන කෙනෙක්.

මොහාන් ගේ සම්පූර්ණ නම, ගම ,කැමතිනම් වයස?

මගේ සම්පූර්ණ නම මොහාන් රාජ් මඩවල.වයස ඉතින් ඕන නෑ.මට ගමක් කියලා දෙයක් නෑ.මොකද මම ඉපදුනේ කොළඹ.මම ඉස්කෝලේ ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට.හිටියෙ රාජගිරියෙ.ඊට පස්සේ පවුලම කුරුණෑගලට ආවා.ඊට පස්සේ කුරුණෑගල මලියදේවයට ඉස්කෝලේ ගියා.ඊට පස්සේ කුරුණෑගලිනුත් ඈත ගමක ජීවත් වුණා.ආපහු ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ආවා.ඊට පස්සේ කොළඹ ආනන්දෙට ඉස්කෝලේ ගියා.ඊට පස්සේ ගාල්ල අම්බලන්ගොඩ හිටියා.ආයෙත් කොළඹ ආවා.ඇත්තටම මට ගමක් නෑ මට තියෙන්නෙ අපත ජීවිතයක්.

ඔබ ලේඛකයෙක් වුණේ ඔබේ පවුල් පරිසරයෙන් මද?

නෑ.මට ඒක පවුලෙන් ලැබුණ දෙයක් නෙවෙයි.මට ලියන්න පුළුවන් හැකියාව තිබ්බා.පාසලේ සාහිත්‍ය සංගම්වල,නාට්‍ය සංගම්වල මම සභාපති වෙලා හිටියා.විශ්ව විද්‍යාලයෙත් මම සාහිත්‍ය තරඟ වලින් ජයග්‍රහණය කරලා තියෙනවා

ඇත්තටම කොහොමද ලේඛකයෙක් උනේ?

මේක එහෙම ප්ලෑන් කරලා වෙච්ච දෙයක් නෙවෙයි.ලේඛකයෙක් වෙන්න කලින් මං හිටියේ මාධ්‍ය ක්ෂේත්‍රයේ.මාධ්‍ය ක්ෂේත්‍රයේ මම අවුරුදු 12ක් හිටියා.ලක්හඬ, අයිටීඑන් ,රූපවාහිනී, නිවේදකයෙක් විදියට හිටියා.හිරු මාධ්‍ය ජාලයෙන් තමයි මුලින්ම management එකට ආවේ Promotion Manager කෙනෙක් විදියට.ඊට පස්සේ ශ්‍රී fm, ස්වර්ණවාහිනියෙත් Programme Director වෙලා හිටියා.ඊට පස්සේ සියත ඕවර්රෝල් channel head වෙලා හිටියා.අන්තිමට මට තේරුණා කාටවත් යටතේ වැඩ කරන එක නෙමෙයි හරි දේ කියලා.මොකද මාධ්‍ය ආයතන වල වැඩ කරන කිසිම කෙනෙක්ට තමන්ගෙ කියල නිදහසක් නෑ.කරන්නෙත් ඒ මාධ්‍යයට අදාළ දේ විතරයි.

හැබැයි මට අවශ්‍ය සමහර දේවල් මං මීඩියා වලදී කරලා තියෙනවා.ශ්‍රී fm ඉද්දි දැනට මේ තියෙන රේඩියෝ ඩ්‍රාමා ෆෝමැට් එක ලංකාවෙ හැදුවේ මම.ඒ තමයි “කණාමැදිරි රාත්‍රිය”.ඒ කාලේ තිබ්බේ එක දිගට පැයක් විතර නාට්‍යයක් රසවිදින එක.ඒක අලුත් lifestyle එකට සෙට් වෙන්නේ නැති නිසා මං අලුත් ප්‍රෝග්‍රෑම් එකක් හදලා පැයකට cuts තුන හතරක් යන විදියට හැදුවා.ඒක තමයි රේඩියෝ රේඩියෝ ඩ්‍රාමා වල අලුත්ම වෙනස.සමහරුන්ට මතකත් නෑ ඒක කොතනද පටන් ගත්තෙ කියලා.

තව දෙයක් තමයි මල් සින්දු වෙහෙර විහාර සින්දු ජනප්‍රිය වෙච්ච කාලෙදි,ටිකක් යනකොට සින්දු වල quality එක අඩු වුනා.ඊට පස්සේ history එකේ තියන Golden songs,ඒ කියන්නේ අමරදේව,වික්ටර්, මිල්ටන්ගෙ වගේ 70, 80 දශකයේ ගීත නැවත වතාවක් එලියට ගන්න වෙනම චැනල් එකක් මං පටන් ගත්තා.ඒ තමයි සියත fm.ඊට පස්සේ ගොඩක් චැනල්ස් ඒක කොපි කලා

දෙදහස් දොළහේ දී මට හිතුන ජීවිතයේ වෙනසක් කරන්න ඕන කියලා.ඊට පස්සේ තමයි මම මාධ්‍යයෙන් අයින් වුණේ.ඒත් එක්කම මං මගේ පළවෙනි නවකතාව ලිව්වා ඒ තමයි මාගම්සෝලිය.
ඒක එහෙම බලාපොරොත්තු තියන් ලිව්වෙ නෑ.ඒත් ඒකට සෑහෙන්න විවේචන වගේම ප්‍රතිචාර ආවා.එහෙම තමයි ලියන්න ගත්තෙ.මට ලංකාවේ වෙනමම මාකට් එකක් හැදුනා.ඇත්තටම මගේ ජීවිතෙත් හරියට පොතක් වගේ,ඒකෙ එක එක පරිච්ඡේද පෙරලෙනවට මං ආසයි.ජීවිතයේ හරි කෙටියි.අපි විවිධ අත්දැකීම් ලබාගන්න ඕන.

ඔබ ලියපු පලවෙනිම පොත මොකක්ද?

ඒ තමයි බෝදිලිමා කෙටි කතාව.

මොහාන් ජීවිතය වැඩිපුරම සතුටු වුණු දවස මතක් කළොත් ඒ කවදද?

වැඩිපුරම සතුටු වුණ දවස කියලා කියලා එකක් නම් නෑ.ජීවිතයේ තේරුම සතුට විතරයි.දැන් නම් මිනිස්සු දුක් විඳිනවා තමයි,ඒත් ඒක තනිකරම පවුල් පාලනය හා මේ දේශපාලනය නිසා ඇති වෙච්ච කතන්දරයක්.
ජීවිතය කියන එකේ තේරුම හැම මනුස්සයෙක්ම ජීවිතයේ ගත කරන හැම මොහොතක්ම සතුටින් ඉන්න ඕන.
ප්‍රශ්න මැද්දෙ වුණත් ජීවිතේ සතුටින් තියාගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම එක.අතීතයේ වත් අනාගතයේ වත් නෙවෙයි මේ මොහොත සතුටින් ඉන්න එක තමයි වැදගත්.ඒක බෞද්ධ දර්ශනයෙත් කියලා තියනවා.මම උත්සාහ කරන්නෙත් මම විඳපු සතුටුම මොහොත හිත හිත ගත කරන්න නෙමෙයි,මේ ගෙවෙන හැම මොහොතම සතුටින් ගත කරන්න.

ආදරේ කියන දේට නිර්වචන ගොඩයි.ඒත් ඇත්තටම ආදරේ

කියන දේට නියත නිර්වචයක් නෑ .ආදරේ කියන්නෙ මොකක්ද?මොහාන් ආදරේ ගැන මොකද හිතන්නේ?

ආදරේ කියන එක මට තාම තේරෙන්නේ නෑ.ආදරය කියන එක මම හොයාගෙන යනවා.ඇත්තටම ආදරේ කියන්නේ concept එකක්.ඒක සංකල්පයක්.ඒක මිනිස් ශරීරයේ ඇති වන හෝමෝන ක්‍රියාකාරීත්වය එක්ක රසායනික සංයුතියේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඇතිවන හැඟීම් ධාරාවක්.ඇත්තටම ඒකට විද්‍යාත්මක කාරණාවක් තියෙනවා.ඒක ගැහැනු පිරිමි,ගැහැණු ගැහැණු,පිරිමි පිරිමි අතරේ ඇති වෙන්න පුළුවන්.ඒකට අපි කියන්නේ ආකර්ෂණය.හැබැයි ඒකට හදාගෙන තියෙන නම තමයි ආදරය.ඒ නම මිනිස්සු හදාගත්ත එකක්.මොකද ආදරේ කියන්නෙ සංකල්පයක් නිසා .ඇත්තටම එහෙම එකක් නෑ.නමුත් සංකල්පය තියෙනවා.ඒ නිසා මිනිස්සු එහෙම දෙයක් හොයන් යනවා.ලව් එක කියලා අපි හිතන එකේ තියෙන්නෙ අන්න ඒක.ආකර්ෂණය උපරිම වශයෙන් තියෙන්නේ මාස හයක් නැත්නම් අවුරුද්දක් විතරයි.ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන්.අපිට මුලින්ම ඇතිවෙන ආකර්ෂණය වෙනස් වෙන්න පටන් ගන්නවා,ඊට පස්සේ වෙන කෙනෙක් කෙරෙහි ඒ හැඟීම ඇති වෙන්න පුළුවන්.ඒක සාමාන්‍ය ස්වභාවය.

කසාද ජීවිතයක් තුළ තියෙන්නේ අපි ආදරය කියලා හදාගත්ත එක ටික දවසකින් වෙනස් වීම.ඒ කියන්නේ ඒක ට්‍රාන්සර් වෙනවා යුතුකම් හා වගකීම් වලට.ඊට පස්සේ අපි හිතෙන් හදා ගන්නවා යුතුකම් හා වගකීම් කියන්නේ ආදරේට කියලා.අපි සම්බන්ධය පටන් ගත්ත තැන නෙමෙයි ඊට පස්සේ ඒක තියෙන්නේ.ඒක සංකල්පයක් කියන්නේ ඒකයි.මිනිස්සු උත්සාහ කරන්නේ මේක හොයාගෙන යන්න.ඒත් කවුරුත් ඒක හොයාගෙන ගියේ නෑ.නැති නිසා තමයි ඒකෙ Art එක මෙච්චර strong වෙන්නේ.

ශාරුක් ඛාන් කාජල්ට ලව් කරනකොට මේක තමයි ලව් කියලා අපි හිතනවා.ඒක සම්පූර්ණ බොරුනෙ.ඇත්තටම එයාලගෙ ජීවිත වල කොච්චර වෙන සම්බන්ධතා තියද..films වල තියෙන්නෙත් සංකල්ප විතරයි.

Art ටික ඇතුලේ ආදරේ කියන දේ මවන කොට මිනිස්සු රැවටෙනවා මේ තමයි ආදරේ කියලා.ඉතින් ආදරේ කියන දේ මිනිස්සු හොයාගෙන යනවා ඇත්තටම එහෙම දෙයක් නැති නිසා.ඒක මරු journey එකක්.

ඔබට ඉන්නවා වෙනමම පාඨක පිරිසක්.ඔබ ලියන දේ ඇතුලෙ වෙනමම රහක් තියනවා.ඒ ඔබ ලියපු දේවල්, පොත් අතරින් ඔබ වැඩිපුරම කැමති පොතක් තියෙනව ද?

මගේ හැම පොතකට ම මම කැමතියි.හැම එකේම වෙනස් පරමාර්ථ තිබුණා.මට උවමනා වෙච්ච දේවල් කියවුනා.මගේ හැම පොතකට ම මිනිසුන්ගේ ප්‍රතිචාර තියනවා.

මොහාන් රාජ් මඩවලගේ පොත් කියවන වයස් සීමාවක් ඉන්නවද?

ඒක එහෙම කියන්න බෑ.මිශ්‍ර වයස් සීමාවන් තියෙනවා.සාමාන්‍ය නවකතා වලට වඩා මගේ නවකතා වෙනස්.වෙනස් දැක්මක් තියෙන වෙනස් විදියකට ජීවිතය දිහා බලන්න පුළුවන් වෙනස්ම දේවල් හිතන පාඨක පිරිසක් මට ඉන්නේ.බොළඳ ආදරේ ට වැඩිය ආදරේ කියන concept එක හොයාගෙන යන මිනිස්සු තමයි මට එකතුවෙලා ඉන්නේ.ඒක වයස් කාණ්ඩයක් කියලා ගන්න බෑ.

දැන් බිහිවෙලා තියෙන තරුණ පරම්පරාව ගත්තොත් ඒ අය පොත් කියවන ප්‍රතිශතය අඩුයි.ඔබ ඒක දකින්නේ කොහොමද?

බෞද්ධ දර්ශනය අනුව නොවෙනස්වන එකමදේ වෙනස්වීම පමණයි.හැමදේම වෙනස් වෙනවා මොහොතින් මොහොත.ඒක හැමෝටම පොදුයි.කවුරුහරි කියනවා නම් මීට අවුරුදු කීපයකට කලින් හිටිය මනුස්සයා නෙමෙයි දැන් ඉන්නේ කියලා ඇත්තටම ඒක හරි.ඒක වෙනස් වෙන්න ඕන.ඒක දරාගන්න බැරි මිනිස්සු තමයි කියන්නේ අපෝ දැන් ඉස්සර වගේ නෙමෙයි මේ මිනිස්සු වෙනස් වෙලා කියලා.වෙනස් වෙන ධර්මතාවය ඇතුලේ ඇතුලේ කොහොමද තාරුණ්‍ය වෙනස් නොවෙන්නෙ ඉතිං.

අද තාක්ෂණය කියන්නේ ප්‍රධානම දෙයක්.අවුරුදු විස්සකට කලින් මෙහෙම දේවල් තිබ්බෙ නෑ.තාක්ෂණය අතට ආවේ නෑ.දැන් ස්මාට් ෆෝන් එකෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්.ෆේස්බුක් එකෙන් කොච්චර දේවල් වෙනස් උනාද.ඉස්සර තැපැල් කන්තෝරුවට මිනිස්සු සියයට අසූවක්ම ආවේ calls ගන්න.ගොඩක්ම පිටරටවල් වලට.හැබැයි දැන් වට්ස්ඇප් එක නිසා අපිට මේ මොහොතේ වුණත් ඇමරිකාවට කෝල් එකක් ගන්න පුළුවන්.ඒ වගේ තමයි කියවීමත්.වෙනස් වෙනවා..මේක ඇතුළෙම වෙන options තියෙන්න පුළුවන්.ඒත් ඒක ඇතුලෙත් පොතක සුවඳ බලලා පොතක් අතට අරන් පොත කියවන මිනිස්සුත් නැතුවාම නෙමෙයි.ලයිෆ් එක විඳින දෙයක් තමයි කියවීම කියන්නේ

ඉදිරියේදී තව පොතක් එළිදක්වන්න සූදානමින් ඉන්නවද? මොනවද ඉදිරියට කරන්න හිතන් ඉන්න දේවල්?

මගේ ලයිෆ් එකට ප්ලෑන් එකක් නම් තියෙනවා.ඒත් හෙට දවසේ මොනා වෙයිද කියලා මම වත් දන්නෙ නෑ.හෙට දවසේ ලොකු අනාගතයක් ගැන හිතනවට වඩා ලේසියි මේ මොහොතේ සතුටින් ජීවත් වෙලා ඉන්න එක.මම ආසයි සතුටින් ඉන්න,තව කෙනෙක්ගෙ සතුටට උදව් කරන්න,ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න,ඒකට තමයි මම ආස.

සංවාදය -සචිනි සත්සරණි
Dasatha Lanka News

1afada77 da77 479e b0af 611d7bcbe619
dbeaa62f 3e05 417f 8f4c 00f203d3ab5e
1f6c2e89 8be5 4ae4 a5f4 fdd2e43cf1ca
d9c3fbe9 f912 4ca0 9ac9 32caf1c67327
1e367432 2d70 4edb becc 0050e7b07749
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?