29 C
Colombo
Monday, February 6, 2023
Peoples Bank Ad

ඉන්දියාව සභාපතිකම ගත් ජී විස්ස

දේශගුණික විපර්යාස, ත්‍රස්තවාදය සහ වසංගතවල දැවැන්ත අභියෝගවලට මුහුණ දීම සඳහා ලෝකය සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ අවධාරණය කරනු ලැබුවේ ඉන්දියාව සිය වසරක කාලයක් වෙනුවෙන් වූ G20 බලගතු රටවල් කණ්ඩායමේ සභාපතිත්වය භාරගනිමිනි. පසුගිය මාසයේ ඉන්දුනීසියාවේ පැවති දින දෙකක G20 සමුලුවේදී වඩාත් අවධානය යොමුවූයේ, පෙබරවාරි මාසයේ රුසියානු ආක්‍රමණයෙන් ආරම්භ වූ යුක්රේන ගැටුම හමුවේ G20 සාමාජික රටවල් කිහිපයක්ම සැලකිවයුතු බලපෑමකට කලවා සිටින අවස්ථාවකය.

“අද, අපට අපගේ පැවැත්ම සඳහා සටන් කිරීමට අවශ්‍ය නැත. අපගේ යුගය යුද්ධයක් විය යුතු නැත.” යැයි අගමැති මෝදි යුක්රේන යුද්ධයේ අතුරුඵල ලෝකය විඳින ආකාරය සිහිපත් කරමින්, ඒ පිළිබඳවද අදහස් පළකළේය.

“අද අප මුහුණ දෙන විශාලතම අභියෝගවන දේශගුණික විපර්යාස, ත්‍රස්තවාදය සහ වසංගත යනාදිය විසඳිය හැක්කේ එකිනෙකා සමඟ සටන් කිරීමෙන් නොව, එකට ක්‍රියා කිරීමෙන් පමණි.”

යුක්රේන ගැටුම පිලිබඳ ඔහුගේ මෙම ප්‍රකාශය, පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති කලාපීය සම්මන්ත්‍රණයකදී අගමැතිවරයා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත කළ මේ හා සමානම ප්‍රකාශයක් ප්‍රතිරාවය කර ඇති බව දැකගත හැකිය. එදා පුටින් හමුවේද අගමැතිවරයා අවධාරණය කරන ලද්දේ මෙය ‘යුද්ධයේ සමයක් නොවිය යුතු ‘ යැයි කියාය. රුසියාව සිය යුක්රේන ආක්‍රමණය හඳුන්වාදී ඇත්තේ “විශේෂ මිලිටරි මෙහෙයුමක්” ලෙසිනි. එහෙත් එය එතරම් සරල දෙයක් නොවන බව පෙන්වමින්, ඉන්දීය අගමැතිවරයා සිය G20 සභාපතිත්වය ආරම්භ කරමින් පවා මෙලෙස රුසියාවට සැලකිවයුතු අවධාරණය කිරීමක් සිදුකර ඇති බව පුළුල් ලෙස අර්ථකථනය කළ හැකිය.

මේ අතර සිය G20 සභාපතිත්වයේ අරමුණු වඩාත් පැහැදිලි කරමින් අගමැති මෝදි වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ලොව භූ-දේශපාලනික ආතතීන් ගෝලීය කඩාකප්පල් කිරීම්වලට තුඩු නොදෙන පරිදි ආහාර, පොහොර සහ වෛද්‍ය නිෂ්පාදනවල ගෝලීය සැපයුම දේශපාලනීකරණයෙන් ඉවත් කිරීම ඉන්දියාව ඉදිරි වසර තුළ ඉලක්ක කර ඇති බවයි.

“අපගේම පවුල්වල අය මෙන් සළකා, ලොව පුරා අවශ්‍යතා වැඩිම ජනයා කෙරෙහි සෑම විටම අපගේ පළමු සැලකිල්ල යොමුවිය යුතුය,” මෝදි පැවසීය.

G20 සාමාජිකයෝ බාලි හි පැවති සමුළුවේදී, ලොව ගල් අඟුරු භාවිතය අඛණ්ඩව අඩු කිරීමේ උත්සාහයන් වේගවත් කිරීම ඇතුළුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් 1.5 දක්වා සීමා කිරීමේ උත්සාහයන් අනුගමනය කිරීමට එකඟ වූහ. ලොව දෙවන විශාලතම ගල් අඟුරු පාරිභෝගිකයා වන ඉන්දියාව, සිය ප්‍රතිඥාව සපුරාලීම සඳහා 2070 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්, පිරිසිදු ඉන්ධන සඳහා පියවරෙන් පියවර සංක්‍රමණය වීමට සහ ගෘහ පරිභෝජනය කප්පාදු කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බව එහිදී අවධාරණය කළේය.

“අපගේ G20 ප්‍රමුඛතාවන් සකස්විය යුත්තේ, අපගේ G20 සාමාජිකයන්ගේ අදහස්වලින් පමණක් නොව, බොහෝ විට හඬ නොඇසෙන ගෝලීය දකුණේ සිටින අපගේ සෙසු ජාතීන්ගේද අදහස් සමගිනි.” යන්න එහිදී අගමැති මෝදිගේ අදහස විය.
“අපි වඩාත් බලවත් රටවල් අතර අවංක සංවාදයක් ඇතිකිරීම වෙනුවෙන් දිරිමත් කරන්නෙමු. මහා විනාශකාරී ආයුධවලින් එල්ල වන අවදානම් අවම කිරීම සහ ගෝලීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා එහිදී ප්‍රමුඛතාව ලබාදිය යුතුය.”

ඇත්තෙන්ම G20 සභාපතිත්වය යටතේ ඉන්දියාවට මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමේ හැකියාවක් පවතින්නේද? G20 සංවිධානයට ස්ථිර ලේකම් කාර්යාලයක් නොමැත. සංවිධානයේ එක් සාමාජිකයෙකු සෑම වසරකම ජනාධිපති ධූරයට පත් වන්නේ කණ්ඩායම් න්‍යාය පත්‍රයට අනුවය. 2023 සැප්තැම්බරයේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන මීළඟ සමුලුව දක්වා ඉන්දියාව සිය සභාපති කාලසීමාව තුළදී, අමාත්‍යවරුන්, නිලධාරීන් සහ සිවිල් සමාජය සම්බන්ධ කරගනිමින් නගර 50ක් පදනම් කරගනිමින් රැස්වීම් 200කට වඩා පවත්වනු ඇත. මේ සියල්ල ඉන්දියාවේ සහ අගමැති මෝදිගේ නායකත්වය ත්වදුරටත් ලොව ඉහලට ඔසවා තැබීමට උපකාර කරනු ඇත. 72 හැවිරිදි ඉන්දීය නායකයාට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඇතුළු ඔහුගේ G20 සගයන් බොහෝමයක් සමඟ පෞද්ගලික මට්ටමේ සම්බන්ධයක් ඇති බව මේ වන විටත් පැහැදිලිවම දැකගන්නට ඇත. කෙසේ වෙතත්, වර්තමාන සංකීර්ණ භූ-දේශපාලනික සහ ආර්ථික තත්ත්වය බහුවිධ අර්බුදවලට අන්තර්ජාතික ප්‍රතිචාරය හැඩගැස්වීම ඉන්දියාවට සහ මෝදිට යම් අභියෝගයක් වනු ඇත. එහෙත් පැහැදිලිවම ඉන්දියාව G20 සංවිධානය තුල සාමාජිකයකුගේ සිට රීති සාදන්නකු දක්වා සිය තත්ත්වය දක්වා උසස් වීමට මෙම සභාපතිත්වය විසින් හැකියාව ලබාදෙන බැවින්, එම අභියෝග ජයගැනීම ඉන්දියාවට එතරම් අසීරු කටයුත්තක් නොවන බව පෙනේ.

මෙහිදී ඉන්දීය සභාපතිත්වය යටතේ G20 සංවිධානයේ ඉදිරි ගමන පිළිබඳව තවත් මානයකින් සළකා බැලිය හැක. පළමුව, රුසියාව-යුක්රේන යුද්ධය හේතුවෙන් තවත් පුළුල් වී ඇති බටහිර හා රුසියාව අතර ඝර්ෂණ අඩු කිරීමට ඉන්දියාවට මෙහිදී අවස්ථාව ලැබී ඇත. G20 පසුගිය බාලි සමුළුවට සහභාගි වන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ආරාධනා කිරීමට ඉන්දුනීසියාව ගත් තීරණය ගැන බටහිර රටවල් සතුටු වූයේ නැත. කෙසේවෙතත් අවසානයේ රුසියානු විදේශ ඇමති, පුටින් වෙනුවට විදේශ ඇමැති සර්ජි ලැව්රොව් සහභාගී විය.

ඉන්දියාව මේ දක්වා, අනෙකුත් බොහෝ රටවල් මෙන්, රුසියාවට එරෙහිව බටහිර රටවල් පනවා ඇති සම්බාධක සඳහා සහාය පලකර නැත. රුසියාවෙන් සහනදායී මිලකට තෙල් මිලදී ගැනීමට නවදිල්ලිය ගත් තීරණය එක්සත් ජනපදය සමඟ යම් මතභේදයට තුඩු දී ඇත. එහෙත් වොෂින්ටනය ප්‍රසිද්ධියේ පුනරුච්චාරණය කර ඇත්තේ ඉන්දියාව හෝ වෙනත් ඕනෑම රටක් රුසියානු තෙල් සහන මිලට මිලදී ගැනීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බවයි. පෙරකී ලෙස අනෙකුත් බොහෝ රටවල් මෙන්ම ඉන්දියාවද යුක්රේන යුද්ධය අවසන් කිරීමට බලකරමින් සිටියි. බාලි සමුළුවේදී පවා මෙය පැහැදිලි විය. බාලි හි පැවති G20 සමුළුවෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ පවා සඳහන් වූයේ ඉන්දියාව අවධාරණය කරන ලද ‘අද යුගය යුද්ධයක් නොවිය යුතුය’ යන්න බවයි.

දෙවනුව, ඉන්දීය අගමැතිවරයා සිය සභාපතිත්වය භාරගැනීමෙන් අනතුරුව පෙන්වාදුන් ආකාරයට, කොවිඩ්-19 වසංගතය සහ රුසියානු-යුක්රේන යුද්ධය ආසන්න අනාගතයේදී අනිවාර්යයෙන්ම වඩාත් දරුණු ලෙස ගෝලීය සැපයුම් දාමයට සහ ගෝලීය ආර්ථිකයේ ගමන් පථයට බලපෑම් කිරීමට ඉඩ ඇත. එහිදී භූ දේශපාලනික බාධාවන් ආහාර, පොහොර සහ වෛද්‍ය නිෂ්පාදන ගෝලීය සැපයුම් දාමයන්ට බලපාන්නේ නැති බව සහතික කිරීම සඳහා ලෝක ප්‍රජාව මෙහෙයවිමකට ඉන්දියාව අනිවාර්ය තල්ලු කෙරෙනු ඇත.

තෙවනුව, ඉන්දියානු නායකත්වය යටතේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රශ්නය G20 සංවිධානයේ න්‍යාය පත්‍රයේ ඉහළ මට්ටමක පවතිනු ඇත.

“අපගේ ග්‍රහලෝකය සුව කිරීම සඳහා, ස්වභාවධර්මය කෙරෙහි භාරකාරත්වය යන්න අවධාරණය කරමින්, අපි ඉන්දියාවේ සම්ප්‍රදාය මත පදනම්ව තිරසාර හා පරිසර හිතකාමී ජීවන රටාවන් දිරිමත් කරන්නෙමු.” යනුවෙන් අගමැති මෝදි දැනටමත් අවධාරණය කර ඇත. එසේම වත්මන් භූ-දේශපාලනික සහ ආර්ථික භූ දර්ශනය තුළ ගෝලීය දකුණේ භූමිකාව ඉස්මතු කිරීමේදීද ඉන්දියාවට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය.

ඉන්දීය අගමැතිවරයා ගෝලීය දකුණ ගැන සඳහන් කරමින් කියා සිටියේ, ඉන්දියාව සිය ජනාධිපති ධුර කාලය තුළ බොහෝ විට මායිම්වලට ඇද වැටෙන ගෝලීය දකුණේ හඬ නියෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි. මෙසේ පෙනෙන ආකාරයට, ඉන්දියාව විසින් භාරගනු ලැබූ G20 නායකත්වය අන් කවරදාකටත් වඩා, මින් පෙර සභාපතිත්වය දැරූ අන් කිසිදු රාජයයකටත් වඩා වැඩි බලාපොරොත්තුවක් සහ අනාගත දැක්මක් සංවිධානයට මෙන්ම සමස්ත ලෝකයටද ලබාදී තිබේ. ඒ අනුව දැන් සිය නායකත්වයේ හැකියාවන් ලෝකය හමුවේ දිගහැරීමට ඉන්දියාවට අවස්ථාව උදාවී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?