spot_imgspot_img

‘ආයති’ මධ්‍යස්ථානය පුණ්‍යායතනයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය ගැන සාකච්ඡාවක්

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සායනික ප්‍රතිකාර පිණිස ආරම්භ කරන ලද මෙරට ප්‍රථම ජාතික මධ්‍යස්ථානය වන “ආයති” ළමා සුරැකුම් මධ්‍යස්ථානය අනුමත පුණ්‍යායතනයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ දී පසුගිය දා සාකච්ඡා වී තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍යපීඨ පරිශ්‍රයෙහි ඉදිකොට ඇති මෙම මධ්‍යස්ථානය වෙතින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් විවිධ ආබාධිත තත්ත්වයන් සඳහා සායනික සේවාවන් සිදුකෙරෙන අතර, සියළුම කායික සහ මානසික ආබාධ තත්ත්වයන් වෙනුවෙන් මූලික පරීක්ෂාවන් සිදුකිරීම ඇතුළුව කථන හා භාෂා චිකිත්සාවන්, ශ්‍රවණ ප්‍රතිකාර, භෞත චිකිත්සාවන්, පවුල් චිකිත්සාවන් සහ වෘත්තීය චිකිත්සාවන් ඇතුළු පුලුල් සේවාවන් රාශියක් පවත්වනු ලබනවා.

“ආයති” මධ්‍යස්ථානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස ක්‍රියාත්මක වන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි ආබාධිත අධ්‍යයන අධ්‍යයනාංශයේ ඉහළ සුදුසුකම් සහිත වෘත්තීය විශේෂඥයින් සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ චිකිත්සකවරුන් විසින් මෙහි සායන පැවැත්වීම සිදුකරනු ලබන බව මෙහිදී අවධාරණය වුණා.

එමෙන්ම මෙම මධ්‍යස්ථානය මගින් මෙරට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා අවශ්‍ය ප්‍රතිකාර නොමිලේ ලබාදෙන අතර, ආබාධ සදහා මෙතෙක් මෙරට දරුවන් හට පහසුවෙන් ලබාගත නොහැකිව තිබූ සේවාවන් රාශියක් ලබාදෙන බවත් මෙහි සාර්ථකත්වය අනුව ඉදිරියේදී රටපුරා වෙසෙන, මෙබදු සේවාවන් අවශ්‍ය එහෙත් වැයවන වියදම් දරා ගැනීමට නොහැකි අයහට සේවාවන් ලබා ගැනීමට හැකි අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබුවා.

මෙම ආයතනය අනුමත පුණ්‍යායතනයක් ලෙස පිළිගැනීම සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නමුත් වත්මන් දේශීය ආදායම් පනත (2017) මඟින් එය සීමා කර ඇති නිසා මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා අරමුදල් සපයා ගැනීම අසීරු වී ඇති බව එහි සභාපති සහ කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා පෙන්වා දුන්නා.

විශේෂයෙන් විදේශීය පරිත්‍යාග ලබා ගැනීමේ දී පුණ්‍යායතනයක් ලෙස පිළිගැනීම ඉතා වැදගත් වන බව ද මහාචාර්යවරිය සඳහන් කළා.

මෙහිදී සභාපතිනිය පෙන්වා දුන්නේ “ආයති” ළමා සුරැකුම් මධ්‍යස්ථානය අනුමත පුණ්‍යායතනයක් බවට පත් කිරීම ජාතික අවශ්‍යතාවක් සේ සලකා ඒ පිළිබඳ අදාළ ආයතන සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කර පියවර ගන්නා බවයි.

මෙරට පාසල් දරුවන් අතර කථන ආබාධ සහිත දරුවන් විශාල පිරිසක් සිටින බැවින් එක් අධ්‍යාපන කලාපයකට එක් කථන හා භාෂා චිකිත්සක හෙවත් වාග් ව්‍යාධිවේදියකු පත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවද මෙහිදි අවධාරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?