ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව සදහා යොදා ගනු ලබන ඉඩම් සුවිශේෂි ඉඩම් වන බැවින් එම ඉඩම්වල වෙනත් බෝග වර්ග වගා කිරීමට හෝ ඒවායේ ගොඩනැගිලි හා වෙනත් ඉදි කිරීම් සදහා භාවිතා නොකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
අර්තාපල් වගාව සදහා විශේෂිත වූ ඉඩම් අප රටේ ඇත්තේ සීමිත ප්‍රදේශ කිහිපයක පමණක් වන අතර ඉන් වැලිමඩ, නුවරඑළිය හා යාපනයේ ඇති ඉඩම් විශේෂ යි.
අප රටේ අර්තාපල්වල ඇති රසය හා ගුණාත්මකභාවය නිසා ආනයනික අර්තාපල්වලට වඩා ඊට ඉහල ඉල්ලුමක් පවතිනවා.
එමෙන්ම දැනට මෙම වගාවේ නිරත ව සිටින ගොවි ජනතාව විසින් ඉදීරපත් කර ඇති ඉල්ලිම් අනුව වෙනත් බෝග වර්ග වගා කළහොත් එම බිම්වල වෙනත් රෝග හට ගැනීමේ හැකියාවක් ද පවතින බවටයි අනාවරණ කරගෙන ඇත්තේ.
2023 යල කන්නයේ දී හෙක්ටෙයාර් 2700ක් හා මහ කන්නයේ දී හෙක්ටෙයාර් 1881 වශයෙන් හෙක්ටෙයාර් 4581ක අර්තාපල් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමගින් මෙට්‍රික් ටොන් 14,400ක අස්වැන්නක් අපේක්ෂිතයි.
එසේ වුවත් තවත් අර්තාපල් මෙට්‍රික් ටොන් 154,000ක් ආනයනය කිරීමට සිදු වන අතර මෙරට වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 230,000ක්.