spot_imgspot_img
spot_img

අන්තර්ජාල ප්‍රවේශය සීමා කිරීමට පකිස්ථාන බලධාරීන් දරන උත්සාහය විකිපීඩියා තහනමෙන් පෙන්නුම් කරයි

විකිපීඩියාවට පිවිසීමට ජනතාවට ඇති අවකාශය පකිස්ථානයේ මාධ්‍ය නියාමකයා වන පකිස්ථාන විදුලි සංදේශ අධිකාරිය විසින් ඉකුත් 4 වැනිදා  තාවකාලිකව අවහිර කිරීමට කටයුතු කර තිබුණා.

විදෙස් වාර්තා පැවසුවේ මුස්ලිම් හැඟීම්වලට අපහාස වන ලෙස සැලකෙන අන්තර්ගතයන් තිබීම හේතුවෙන්  ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි.

පෙබරවාරි 6 වැනිදා පකිස්ථාන  අගමැති ෂෙහ්බාස් ෂරීෆ් එය යථා තත්ත්වයට පත් කිරීමට නියෝග නිකුත් කරන තෙක් දින දෙකක්  පුරා විකිපීඩියාවට ප්‍රවේශ වීමට ජනතාවට හැකි වූයේ නැහැ.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පකිස්ථානයේ විකිපීඩියා තහනම පෙන්නුම් කරන්නේ රටේ නව දැනුම අඩපණ කිරීමට පකිස්ථාන බලධාරීන් ගත්  නොගැලපෙන  උත්සාහයක් ලෙසයි.

ඉස්ලාමාබාද්හි කුමන දේශපාලන පක්ෂයක් බලය දැරුවත් ඉස්ලාමීය කණ්ඩායම් සහ ඔවුන්ගේ රැඩිකල් මතවාදයන් පකිස්ථානයේ සැලකිය යුතු බලයක් පවත්වා ගෙන යන බව විකිපීඩියා තහනමෙන් ඇඟවෙන බවද ඔවුන් පෙන්වා දෙනවා.

පාකිස්ථානයේ මැර ප්‍රචණ්ඩත්වයට සහ ප්‍රහාරවලට බොහෝවිට තුඩු දෙන්නේ අපහාස කිරීමේ චෝදනාවයි.

1990 සිට අවම වශයෙන් පාකිස්ථානය තුළ පුද්ගලයන් 80 දෙනෙකු  දේව අපහාස චෝදනා මත මරා දමා ඇති බව Al Arabiya Post වාර්තා කර තිබෙනවා.

සුළු ජාතික ආගමික කණ්ඩායම් ඉලක්ක කර පුද්ගලික අමනාපකම් නිරාකරණය කර ගැනීම සඳහා දේව අපහාස චෝදනා බොහෝ විට භාවිතා වන බවට විවිධ සංවිධානවලින් එල්ල වූ චෝදනා මත එවැනි නින්දනීය අන්තර්ගතයන් ඉවත් කර ගැනීම සඳහා පැය 48 ක කාලයක් ලබා දෙමින්  පකිස්ථානය තුළ  විකිපීඩියාවට ප්‍රවේශ වීම අවහිර කිරීමට පාකිස්ථාන විදුලි සංදේශ නියාමන අධිකාරිය පියවර ගෙන තිබුණා.

එම අධිකාරිය පවසන්නේ පැය 48 තුළ අහිතකර අන්තර්ගතයන් ඉවත් කිරීමට වෙබ් අඩවිය අපොහොසත් වීම හේතුවෙන් විකිපීඩියාවට ප්‍රවේශය අවහිර කළ බවයි.

කෙසේ වෙතත් පාකිස්ථානයේ අන්තර්ජාල භාවිත කරන්නන් විකිපීඩියාවට ප්‍රවේශය සීමා කිරීමට එරට විදුලි සංදේශ නියාමන අධිකාරිය ගත් තීරණය විවේචනය කළා.

පකිස්ථාන රජයේ විදුලි සංදේශ අධිකාරියට ලබා දී ඇති අධික බලය සහ පකිස්ථානයේ භාෂණයේ නිදහසට එහි බලපෑම එරට බොහෝ දෙනෙකුගේ දැඩි කනස්සල්ලටද  හේතු වුණා.

පකිස්ථාන බලධාරීන් විකිපීඩියාව යථා තත්ත්වයට පත් කළේ සමාජ මාධ්‍යවල මහජන විරෝධයෙන් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?